ප්‍රධාන ප්‍රශ්න නොසලකා හැරීම - වික්ටර් අයිවන්

ප්‍රධාන ප්‍රශ්න නොසලකා හැරීම - වික්ටර් අයිවන්

19 වැනි සංශෝධනයෙන් ජනාධිපති සතුව තිබූ විධායක බලය ඉවත් කොට ජනාධිපතිවරයා නාමමාත‍්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්කර තිබුණද ජනාධිපතිවරයා තෝරා පත් කරන විධිය ඊට ගැළපෙන ලෙස වෙනස් නොකිරීම නිසා සමස්ත ආණ්ඩුක‍්‍රමය අවුල්සහගත හා හාස්‍යජනක තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ.

19 ආණ්ඩුක‍්‍රමයේ ලොකු වෙනසක් ඇති කිරීමෙන් පසු ඒ ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණද ආණ්ඩුව හිතාමතාම එය මහජනතාවට වසන් කළ රහසක් ලෙස පවත්වාගෙන ගියේය. ඊළඟ ජනාධිපති විධායක බලයක් නැති ජනාධිපති කෙනකු බව ජනතාව දැන නොසිටියේය. ඒ බව ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෝ පවා දැන නොසිටියෝය. දැන් පවා ඔවුන්ට ඒ ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ජනාධිපතිවරයාට විධායක බලය නැත්නම් එවැනි ජනාධිපතිවරයකු රුපියල් කෝටි සිය ගණනක් මහජන මුදල් වියදම් කොට මහජන ඡන්දයකින් තෝරා පත්කර ගන්නේ ඇයි? ආර්ථික වශයෙන් රට තිබෙන්නේ යහපත් තත්ත්වයක නොව බංකොළොත් භාවයට පත්වන්නට ආසන්න තත්ත්වයකය. එවැනි තත්ත්වයක තිබෙන රටක් කිසිදු විධායක බලයක් නැති නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අතිවිශාල ධනයක් වැය කිරීම යුක්ති සහගත කරන්නේ කෙසේද?

ආණ්ඩුක‍්‍රමයට අදාළ එම තීරණාත්මක ප‍්‍රශ්නය ඉදිරියේ එම වරද නිවැරදි කරගන්නා තැනකට යාමෙන් තොරව ආණ්ඩුවද අහක බලාගෙන සිටියේය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද එය විසඳාගත යුතුව තිබෙන බැරෑරුම් ප‍්‍රශ්නයක් ලෙස සැලකුවේ නැත. මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිට හා අගමැතිට අවසානයේ මතක් වූයේ ජනාධිපතිවරණයකට ළඟට පැමිණ තිබෙන අවස්ථාවකය. ජනාධිපතිවරයා අගමැතිවරයා අතර පසුගිය සතියේ ඒ ගැන සාකච්ඡාවක් සිදුවී ඇතත්, ඒ ගැන ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා සමග කරන ලද සාකච්ඡාව සාර්ථක වී නැත.

බොරදියේ මාළු බෑම

ඊළඟ ජනාධිපතිට විධායක බලය නැතත්, නාමමාත‍්‍රික ජනාධිපති ධුරය සඳහාද දැනටමත් ලොකු බලපොරයක් ආරම්භ වී තිබෙන බව දැකිය හැකිය. නාමමාත‍්‍රික ජනාධිපතිරයකු මහජන ඡන්දයකින් තෝරාපත්කර ගන්නේ නැති බව සේ ම ඒ සඳහා දැවැන්ත ධනස්කන්ධයක් වැය කිරීම අපරාධයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රශ්නය වන්නේ ජනාධිපතිට හා අගමැතිට මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට මේතරම්ම ප‍්‍රමාද වූයේ ඇයිද යන්නයි. මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර එජාපයට සිය අපේක්ෂයා තෝරා ගැනීම ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයක් බවට පත් වී තිබේ. ඊළඟ ජනාධිපති කිසිදු විධායක බලයක් නැති නාමමාත‍්‍රික කෙනකු වුවත් ජනාධිපතිවරණයට තරග කරන්නට හිත හදාගෙන සිටි කිසිවෙක් තරග කරන්නට ඇති කරගෙන තිබෙන අදහස අත්හරින්නට සූදානම් නැති බවද පෙනේ. ඔවුන්ට ඔවුන්ගේ මහන්තත්ව අභිලාෂ මිස රටට සිදුවන අතිවිශාල ධන නාස්තිය වැදගත් නැත. මෙම ප‍්‍රශ්නය දුරදිග යන්නට ඉඩ නොදී කල්තියා විසඳා ගැනීමට උනන්දුවක් නොදැක්වූ ජනපතිට හා අගමැතිට මේ ප‍්‍රශ්නය අවසාන මොහොතේ විසඳා ගැනීමේ උනන්දුවක් ඇතිවූයේද තමන්ගේ යහපත සලකා මිස රටේ පොදු යහපත සලකා නොවන බවද තේරුම් ගැනීම අමාරු නැත.

මෙම විෂයේ ඇතිවී තිබෙන ව්‍යාකූලභාවය ඉදිරියේ ලොකු අවුල් ඇති කිරීමට හේතුවිය හැකිය. ලංකා රාජ්‍යයේ ප‍්‍රධාන බලමණ්ඩල තුන වන විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය තිබෙන්නේ ක‍්‍රමවත් තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. නීතියෙන් නියම කළ විධායක බලයක් ජනාධිපතිට නැතත්, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තිබෙන්නේ ශක්තිමත් හා ක‍්‍රමවත් තත්ත්වයක නොවන නිසා මහජන ඡන්දයෙන් තේරී පත්වන පුද්ගලයාට ප‍්‍රධාන බල මණ්ඩල තුන හෝ ඉන් දෙකක් සිය ග‍්‍රහණයට ගතහැකි නම් ඒකාධිපති බලයක් ඇතිකර ගැනීමේ හැකියාව පවතී. එසේ වුවහොත් කබලේ තිබෙන රට ළිපට වැටෙන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

වැරදි ගල් ගැසෙන්නට ඉඩ හැරීම

ලංකාව මැතිවරණ පවත්වන රටක් වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශික්ෂණයක් සහිත රටක් ලෙස සැලකිය නොහැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නිසි අවබෝධයක් නැතිකම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශික්ෂණයක් නැතිකම රටේ දේශපාලන නායකයන්ට සේ ම සමාජයට ආවේණික ලක්ෂණයක් ලෙස සැලකියද හැකිය. මෙය වර්තමානයේ ඇතිවූ අලූත් දෙයක් නොව, නිදහසේ සිටම දක්නට තිබුණ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රටේ පාලකයන් හෝ සමාජය නීතියට ගරු නොකිරීමද එම ප‍්‍රශ්නයේම තවත් පැත්තක් ලෙසද සැලකිය හැකිය.

පාර්ලිමේන්තුව රටට නීති හා ප‍්‍රතිපත්ති සම්පාදනය කරන ප‍්‍රධානතම ආයතනය ලෙස සැලකිය හැකිය. රටේ නීතිය ක‍්‍රියාත්මකවීම අධීක්ෂණය කරන ප‍්‍රධාන ආයතනය වන්නේද එයයි. පාර්ලිමේන්තුව සමග ව්‍යාපාර කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තහනම්ය. එය ලංකාවේ පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන හැම රටකම පාහේ තදින්ම ක‍්‍රියාත්මක වන ධර්මතාවකි. එහෙත් දැන් අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කරන්නේ හොර රහසේ නොව ප‍්‍රසිද්ධියේය. එම වැරැද්දට අනුබල දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා මිස කිසිවිටෙකත් පාර්ලිමේන්තුව ඒ වරද නිවැරදි කිරීමට උත්සාහ දරා නැත. අප ඒ ගැන කතානායකවරයා වෙත දැනුම්දීමක් කිරීමෙන් පසුත් කතානායකවරයා අපට දැනුම් දුන්නේ ඒ ගැන සොයා බැලීමේ ව්‍යවස්ථාපිත බලයක් තමන්ට නැති බවය. අපි හැටහතර දෙනකු ඒ ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කළෙමු. ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිල්ල සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන්නේ කුමන ප‍්‍රතිපත්තියක්ද යන්න පැහැදිලි නැත. අපගේ එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන රංජන් රාමනායක මහතා ජනමාධ්‍යවලට ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට බාර් ලයිසන් තිබෙන මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව 100කට වැඩිය. එතනෝල් බලපත‍්‍ර තිබෙන මන්ත‍්‍රීන් ගණන 4කි. වැලි පර්මිට් තිබෙන මන්ත‍්‍රීන් ගණන 75කට වැඩිය. ගුවන්තොටුපොළේ වෙළෙඳ සැල් පවත්වාගෙන යන මන්ත‍්‍රීන් සංඛ්‍යාව 14කි. මෙම ලැයිස්තුවට රජයේ ඉඩම් ලබාගෙන තිබෙන, ප‍්‍රතිඅපනයන බලපත‍්‍ර ලබාගෙන තිබෙන හා ඉන්ධන පිරවුම්හල් පවරාගෙන යන මන්ත‍්‍රීන් ද එකතු කළ විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පිළිබඳ ලැබෙන චිත‍්‍රය කොතරම් අවලස්සනද? පාර්ලිමේන්තුව බරපතළ වැරදි කරන අවස්ථාවකදී පාර්ලිමේන්තුවට එය පෙන්වා දුන් පසුද ඒ ගැන කරුණු සොයා බලන තැනකට යමින් ඒ වැරදි නිවැරදි නොකර ගන්නේ නම් හා ඉන්පසු අධිකරණයට පැමිණිලි කළ පසුද අධිකරණයද එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ක‍්‍රියා නොකරන්නේ නම් පුරවැසියන් වශයෙන් අපට කළහැක්කේ කුමක්ද?

ලංකාවේ අපටද ස්විස්ටර්ලන්තය ඇතුළු වෙනත් සමහර රටවලට තිබෙන්නාක් මෙන් මැතිවරණලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට අතිරේකව ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රාරම්භනය, විකල්ප ජනමත විචාරණ වැනි රාජ්‍ය පාලනයට තීරණාත්මක ලෙස මහජනයාට මැදිහත් විය හැකි ක‍්‍රම තිබුණේ නම් මෙවැනි කාලකණ්ණි තත්ත්වයකට රට ඇද වැටීම වළකා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එවැනි දේවල් ගැන පවා මහජනයාට තිබෙන දැනුම අල්පය.

අශීලාචාර රාජ්‍යය

ශීලාචාර රාජ්‍යයක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේ මොනව තත්ත්වයක් යටතේවත් උල්ලංඝනය නොකළ යුතු උත්තරීතර හා පාරිශුද්ධ දෙයක් ලෙසය. එහෙත් එම විෂයේදී ලංකාව තිබෙන්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීති සම්පාදනයේ ප‍්‍රධාන ආයතනය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව නීති සම්පාදන විෂයේදී ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම සේ ම පාර්ලිමේන්තුව එම නීති සම්පාදනයේදී උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන ප‍්‍රමාණය පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකින් ලබා ගත් අනුමැතියද ඇත්නම් පමණය. 19 වැනි ව්‍යවස්ථාවේ මුල් කෙටුම්පත සකස් කර තිබුණේ ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පමණක් ජනාධිපති අත තිබෙන විධායක බලය නැති කොට ජනාධිපති නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට රාජ්‍ය බලය අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයම පත් කෙරෙන ආකාරයටය. අධිකරණය එම වැඩසටහනට අනුමැතිය දුන්නේ නැත. කෙටුම්පතේ එන සමහර වෙනස්කම් ජනමතවිචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියකින් පමණක් සිදුකළ හැකි වුවත්, කෙටුම්පතේ එන තවත් සමහර වෙනස්කම් සඳහා තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකින් ලබාගන්නා අනුමැතිය අත්‍යවශ්‍ය බව අධිකරණය අවධාරණය කළේය.

එවැනි අධිකරණ තීන්දුවක් තිබියදීත් එය නොසලකා ජනමතවිචාරණයක් නැතිව ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කොට එම බලතල තමන් වෙත හිමිකර ගැනීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධනයක් නීතිගත කරවා ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ සමත් විය. එය ලෝක ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ මෙතෙක් සිදුවී තිබෙන ලොකුම වංචාව ලෙස සැලකිය හැකිය. එම වංචාවට දැන හෝ නොදැන ඊට අනුමැතිය දුන් සියලූ මන්ත‍්‍රීවරුන් සේ ම ජනාධිපතිවරයාද වගකිව යුතුය. ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂයද වගකිව යුතුය. මෙම ව්‍යවස්ථා විරෝධී නීති සම්පාදනයට එරෙහිව කිසිවකු අධිකරණය ඉදිරියට ගියේ නැත.

ජනාධිපතිවරයා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව ඉවත් කොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් බලයට පත් කොට පාර්ලිමේන්තුව විසුරුවැ හැරීමට දරන ලද උත්සාහයේදී එම ආරාවුල අධිකරණය ඉදිරියට ගෙන යන ලදි. එහිදී අධිකරණය සොයා බලන ලද්දේ තිබෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ක‍්‍රියාව නීතියට අනුකූලද නැද්ද යන ප‍්‍රශ්නය පමණය. ඒ අවස්ථාවේදී අධිකරණයට තෝරා ගැනීමට අන් විකල්පයක් නොතිබුණාද විය හැකිය. එහෙත් ඒ නිසා ව්‍යවස්ථාවට පටහැනිව සම්මත කරගෙන තිබූ 19ට නීත්‍යනුකූලභාවයක් ලබාදීමක්ද සිදුවිය.

ව්‍යවස්ථා උල්ලංඝනය

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා උල්ලංඝනය කළ පළමුවැන්නා නොවීය. දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාපකයා ලෙස සැලකිය හැකි ජනාධිපති ජයවර්ධනද පටු ආත්මාර්ථකාමී දේශපාලන අභිලාෂ සපුරා ගැනීම සඳහා තමන්ට පාර්ලිමේන්තුවේ තිබූ හයෙන් පහේ බලය ප‍්‍රයෝජනයට ගනිමින් අවස්ථා ගණනාවකදීම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. ඒ මගින් තමන් නිර්මාණය කළ ආණ්ඩුක‍්‍රමය හා ව්‍යවස්ථාව විකෘති කළේය. ජනාධිපති ජයවර්ධන කාලයේ සිදුකරන ලද සියලූ විකෘතීන් අතර ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම සඳහා කළ හතරවැනි සංශෝධනය බිහිසුණුම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සැලකිය හැකිය. එය රට ලේ වගුරුවන මාවතකට තල්ලූ කිරීමට හේතුවූ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට ජේ.ආර්. ජයවර්ධනට මෙන් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පටු දේශපාලන අභිලාෂයන් සපරා ගැනීමට අවශ්‍ය තරම් පාර්ලිමේන්තු බලයක් නොතිබුණි. ඇය ඒ අරමුණ සපුරා ගත්තේ අධිකරණයේ ප‍්‍රධානියා සිය ග‍්‍රහණයට ගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවන නඩු තීන්දුවක් මගිනි.

විධායක ජනාධිපති ක‍්‍රමය සකස් කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂයක් ලබා ගන්නා ආසන සංඛ්‍යාව ඊළඟ මැතිවරණය තෙක් නොවෙනස්ව පවතින ආකාරයටය. මන්ත‍්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම තහනම් විය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේදී ඇතිවන පුරප්පාඩු එම පුරප්පාඩුව හිමි දේශපාලන පක්ෂය විසින් වෙනත් අයගෙන් පිරවිය යුතු විය. මේ ක‍්‍රමය සකස් කර තිබුණේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පක්ෂ මාරු නිසා සිදුවන ආණ්ඩු පෙරළි ඇතිවීම වැළකීම සඳහාය. එය 2 වැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කර තිබූ ආණ්ඩුක‍්‍රමයට පදනම් වූ වැදගත් අඩිතාලමක් වී යැයි කිව හැකිය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයේ (අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ) සහාය ලබා ගනිමින් ආණ්ඩුක‍්‍රමයේ එම අඩිතාලම මුළුමනින් කඩා බිඳ දැම්මේය. ආණ්ඩු පක්ෂයට එකතු කරගෙන සිටි එජාප මන්ත‍්‍රීවරුන්ට මන්ත‍්‍රීකම අහිමිකර ගැනීමකින් තොරව පක්ෂ මාරු කළ හැකි ක‍්‍රමයක් අධිකරණය ඇති කර දුන්නේය. එය ආණ්ඩුක‍්‍රමයේ ලොකු විකෘතියක් ඇති කළා පමණක් නොව, මන්තී‍්‍රවරුන්ව ලොකු මුදලකට විකිණෙන ක‍්‍රමයක්ද ඇති කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද තමන්ට පාර්ලිමේන්තුවේ තිබුණ තුනෙන් දෙකේ බලය ප‍්‍රයෝජනයට ගනිමින් හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ මගින් 17 වැනි සංශෝධනය අහෝසි කොට ව්‍යවස්ථා සභාවට හා ස්වාධීන කොමිෂන් සභා ජනාධිපතිවරයාට පාලනය කළ හැකි ක‍්‍රමයක් ඇතිකර ගත්තා පමණක් නොව, ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් වෙනුවට ඕනෑම ගණනකට තේරී පත්විය හැකි ක‍්‍රමයක්ද ඇතිකර ගත්තේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහකිරීම සඳහා අනුගමනය කෙරුණු නීති විරෝධී හා බලහත්කාරී ප‍්‍රතිපත්තිය එම පාලන කාලයේදී සිදුවූ බිහිසුණුම ව්‍යවස්ථා උල්ලංඝනය ලෙස සැලකිය හැකිය. රිට් ආඥා ක‍්‍රමය පරිපාලනයෙන් හෝ පහළ අධිකරණයෙන් සිදුවන වරදක් නිවැරදි කිරීම සඳහා ශීලාචාර ලෝකයේ යොදා ගන්නා බලවත්ම ආරක්ෂක අවිය වන අතර, එංගලන්තයේ බලවත් රජවරු පවා රිට් ආඥාවන්ට ගරු කළහ. අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නීතියට පටහැනිව ඉතාමත් හිතුවක්කාරී ආකාරයට පවත්වාගෙන ගිය පරීක්ෂණය තහනම් කරමින් අධිකරණය දෙන ලද නියෝගයට පාර්ලිමේන්තුව ගරු කළේ නැත. එය පාර්ලිමේන්තුවක් විසින් රිට් ආඥාවකට පයින් ගැසූ එකම අවස්ථාව විය හැකිය.

ව්‍යවස්ථා උල්ලංඝනය 1977න් පසුව පමණක් දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන අතර, සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ආකාරයට නීතිගත කෙරුණු පුරවැසි අණපනත් සේ ම ලංකාවේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ආත්ම ගෞරවය අහිමි කොට ඔවුන් දෙවැනි පෙළ පුරවැසි ප‍්‍රජාවක් බවට පත්කිරීමට හේතුවූ 1956 සිංහල රාජ්‍ය භාෂා පනතද සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි අණපනත් ලෙස සැලකිය හැකිය.

වැරදි නිවැරදි නොකිරීම

සාමාන්‍යයෙන් ශීලාචාර රාජ්‍යයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සලකන්නේ කිසිම කෙළෙසීමකට ලක් නොකළ යුතු උත්තරීතර හා ශුද්ධ වූ දෙයක් ලෙසය. රාජ්‍ය නායකයන් විසින්, ව්‍යවස්ථාදායකයක් විසින් හෝ අධිකරණයක් විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් ගැන අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. ශීලාචාර රාජ්‍යයක කලාතුරකින් හෝ එවැනි වරදක් සිදුවූ විට හැකි ඉක්මනින් ඒ වරද නිවැරදි කරනු ලබයි. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි පාලන කාලයේදී ඇය 1976දී ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධනයක් මගින් (42 වන සංශෝධනය) ව්‍යවස්ථාවේ හැඩතල විකෘති කළේය. ඉන්දියාව ඒ වරද ගල් ගැසෙන්නට ඉඩ දුන්නේ නැත. ඊළඟට බලයට පැමිණි ජනතා ආණ්ඩුව ඒ මගින් ඇතිකර තිබූ විකෘතිය නැති කොට ව්‍යවස්ථාව යළි ප‍්‍රකෘති තත්ත්වයට ගැනීම සඳහා 43 වන සංශෝධනය නීතිගත කළේය. එම සංශෝධනයට කොංග‍්‍රසයේ පක්ෂයද සහාය දුන්නේය.

ලංකාවේ ව්‍යවස්ථාදායකයේද ආධාර ඇතිව රාජ්‍ය නායකයන් විසින් ද තවත් සමහරවිට රාජ්‍ය නායකයාට හෝ නායිකාවට ලබාදෙන සහායක් වශයෙන් අධිකරණය විසින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථා ගණන විශාලය. එහෙත් කවර අවස්ථාවකදීවත් කවර රජයක් විසින්වත් ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවූ සංශෝධන නිෂ්ප‍්‍රභ කොට නැවත ව්‍යවස්ථාව යථා තත්ත්වයට ගැනීම සඳහා ක‍්‍රියාකර නැත. අඩුම වශයෙන් ඒ සඳහා වන සංවාදයක්වත් තිබී නැත. අපේ රටේ දේශපාලන ශීලාචාරත්වයේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. අධිකරණයේ පවත්නා තත්ත්වයද ඊට සමානය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවූ නඩු තීන්දු අද දක්වා නිෂ්ප‍්‍රභ කර නැත. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ බාහිර පෙනුමෙන් පමණය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් සඳහා තිබිය යුතු දැනුම හා ශික්ෂණය ප‍්‍රමාණවත් තරමින් වගා කර ගැනීමට ලංකාව සමත් වී නැත.

රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය

මේ වන විට ලංකාවේ අපට තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා උපරිම මට්ටමකට කෙළෙසුණු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග‍්‍රභාවය අහිමි කරගත් තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි තරමට වැරහැලි තත්ත්වයකට පත්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එහිම ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ අපට තිබෙන්නේ විධිමත් ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවට අවුල් ජාලාවක් බවට පත්වූ ආණ්ඩු ක‍්‍රමයකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නැති රාජ්‍යයක් මාලිමා යන්ත‍්‍රයක් නැති නැවක් බඳුය. නැව තිබෙන්නේද නිසල මුහුදක නොව ප‍්‍රචණ්ඩ මුහුදකය. මේ මොහොතේ රටට වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමේ හැකියාව ලබාදෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි.

එය පරණ පන්නයට එනම් ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට සීමාකළ ව්‍යවස්ථා සම්පාදනයකින් හදන ව්‍යවස්ථාවක් නොව, මහජනයාට බර තබා හදන මහජන ව්‍යවස්ථා සම්පාදනයක් විය යුතුය. එය රටේ තිබෙන වර්ග, කුල හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම අහිමි කොට පීඩිත ගණයෙහිලා සැලකිය හැකි සියලූ සමාජ කණ්ඩායම්ද ඇතුළුව භේදයකින් තොරව සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත ලාංකීය ජාතිය ගොඩනගන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාදාමයක් විය යුතුය. එසේම ගොඩ නගන ආණ්ඩුක‍්‍රමය මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමේ අයිතිය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ, අයිතියට සීමා නොකළ ”ජනප‍්‍රිය ප‍්‍රාරම්භනය, විකල්ප ජනමත විචාරණය”, තෝරා පත් කරගත් මහජන නියෝජිතයන් ආපසු කැඳවීම වැනි අයිතීන් මහජනයාට ලබාදෙන ආණ්ඩුක‍්‍රමයක් හදා ගැනීම එහි වැදගත් අරමුණක් විය යුතුය.

නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය මහජනයාට අවශ්‍ය නම් මහජන ව්‍යවසථා සම්පාදනයක් සඳහා පසුබිම හදන මැතිවරණයක් බවටද පත් කරගත හැකිය.