සම්බන්ධන්ගේ නිල නිවෙසේ නොකී කතාව

සම්බන්ධන්ගේ නිල නිවෙසේ නොකී කතාව

පහත උපුටා ඇත්තේ ලංකාදීප පුවත්පතේ පළවූ පුවතකි. එම පුවතෙහි එක් කරුණක් අසත්‍යය. පුවත මෙසේය.'හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සංධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරිම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් ව්ශේෂ කැබිනට් තීන්දුවක් මලින් ලබාදී ඇත.

කොළඹ 7, මහගම සේකර මාවතේ පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන් මහතා මේ වන විටත් එම නිල නිවසේ පදිංචිව සිටී.

සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ මෙම නිල නිවස ලබා දී ඇති අතර ඊට අදාළ විශේෂ කැබිනට් සංදේශය එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරවයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කොළඹ 7 පිහිටි අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවස පිහිටි ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු, උද්‍යානකරුවන් දෙදෙනෙකු , අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් සේවකයන් 5ක් යොදවනු ලැබ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම හා නිල නිවස නඩත්තුව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.

2015 මහමැතිවරණයෙන් පසුව සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවස ලබා දී ඇති අතර 2017 වසරේදී එය අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350ක මුදලත් රජයෙන් වැයකර ඇත. ' අසත්‍ය කරුණ වන්නේ අවසාන ඡේදයෙහි මුල් කොටසය. ආර්. සම්බන්ධන් මහතාට මේ නිල නිවස ලබා දුන්නේ ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග නොවේ. ඔහු එම තනතුරට පත්ව වසරකටත් පසුය. ඒ පුවතෙහි සඳහන් ආකාරයට මේ නිල නිවෙස විපක්ෂ නායකවරයාගේ නිල නිවසයි. 2019 මුලදී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුවත් ඔහුට එය ලබා නොදී සම්බන්ධන් මහතාටම නිවස දී ඇත.

ඒ් කියන විදියට මෙය විපක්ෂ නායක නිල නිවස නම්, අපූරු කාරණාවක් කිව යුතුය. ඊට පෙර ආර්. සම්බන්ධන් මහතාගේ නිල නිවෙස පිළිබඳ කතාවට ලියුම්කරුගේ සම්බන්ධය පැහැදිලි කිරීම වටී. ඇත්තෙන්ම සම්බන්ධන් මහතාට නිල නිවෙසක් ලැබුණේ ලියුම්කරුම මීට පෙර ඔහුට නිල නිවෙසක් නැති බව පුවත්පත් ලිපියක් ලිවීමෙන් පසුව ඇතිවූ සංවාදය නිසාය.

ලංකාදීප පුවත්පතේ සඳහන් ආකාරයට මේ නිවෙස විපක්ෂ නායකවරයාට හිමි නිල නිවස නම් ඒ නිවසෙහි 2016 වසර අවසානය දක්වාම සිටියේ කවුදැයි දැනගැනීම වටිනා කාරණාවක් විය හැකිය.

හිටපු ඇමතිවරයෙකු වුවද, උක්ත කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව නොසිටි රත්නසිරි වික්‍රමනායක මහතා එම නිල නිවස පාවිච්චි කළේය. ලියුම්කරු රත්නසිරි වික්‍රමනායක මහතා මුණගැසෙන්නට එම නිවසට ගොස් ඇත. වික්‍රමනායක මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීය. ලියුම්කරු ඔහු මුණගැසෙන මොහොත වෙද්දී ඔහු එහි සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් නැතිවය. වික්‍රමනායක මහතා පක්ෂ නායකයෙකුද නොවු අතර මේ කියන කාලසීමාවේ දේශපාලනයෙහි තීරණාත්මක කාර්යභාරයක් කළේ නැත. ඔහු 2016 දෙසැම්බර් මාසයේදී ජිවිතයෙන් සමුගත් අතර , සම්බන්ධන් මහතාට නිල නිවස ලැබුණේ එයින් පසුවය. ( 2015 දක්වා සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. ඔහුගේ පෞද්ගලික නිවාසය තිබුණු නිසා රජයේ නිල නිවාසයක් පාවිච්චි කළේ නැත.)

අප ඉහත කතාව කීවේ රත්නසිරි වික්‍රමනායක මහතා නිල නිවෙසක් අවභාවිතා කළ බව උපුටා දක්වන්නට නොවේ. ලංකාවේ ඇමති නිල නිවාස අවභාවිතා කිරීම එදා සිටම සිදුවිය. ආණ්ඩු පෙරලියකින් පසු අමාත්‍යවරුන් නිල නිවාස අත්නොහැර සිටි අවස්ථා මෑත කාලයේදී බොහෝ සේ වාර්තා විය. ඇත්තේන්ම විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ සිටියේද ඇමති නිල නිවෙසකය. ගෙවුණු කාලසීමාවේදී අමාත්‍යධූර අත් හරින ලද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඇමති නිල නිවාස අත් නොහැර සිටි බව වාර්තාකර තිබුනි එලෙස නිල නිවාස අත්නොහැර සිටි මන්ත්‍රීවරුන්ට නඩු පවරන බවද එකල වාර්තා විය.

මාධ්‍ය ආයතන ගණනාවක් මීට පෙර එම නිවාස ගැන වාර්තා කර තිබුණි. වාර්තා අනුව පදිංචිව සිටි නිවාස අතර දයාසිරි ජයසේකර සිටි ග්‍රෙගරි පාර අංක සී78, දුමින්ද දිසානායක සිටි ස්කෙල්ටන් මාවත අංක ඊ1, ලසන්න අලගියවන්න සිටි විජේරාම මාවතේ 110-3, රංජිත් සියඹලාපිටිය සිටි විජේරාම මාවතේ 110-5, ටී.බී ඒකනායක මහතා සිටි විජේරාම මාවතේ 110-6 , මහින්ද අමරවීර මහතා සිටි ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ අංක ඊ-63, එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිටි කැප්පෙටිපොළ මාවතේ අංක 40, ෆයිසර් මුස්තාපා මහතා සිටි කැප්පෙටිපොළ මාවතේ අංක සී51, ඒ.එච්.එම් ෆවුසි මහතා සිටි බෞද්ධාලෝක මාවතේ සී76, එස්.බී නාවින්න මහතා සිටි ග්‍රෙගරි පාරේ අංක සීඩී89, සුමේධා ජී ජයසේන මහත්මිය සිටි ලොරිස් පාරේ අංක 6-2, ඩුලිප් විජේසේකර මහතා සිටි ලොරිස් පාරේ අංක 7-1 , දුනේෂ් ගන්කන්ද මහතා සිටි ලොරිස් පාරේ අංක 8-2 සහ චන්දිම වීරක්කොඩි මහතා සිටි විජේරාම මාවතේ අංක 110-2 යන ඒවා පවතී.

'අරුණ' පුවත්පත මහින්ද අමරවීර මන්ත්‍රීවරයාගෙන් ඇමති නිල නිවසක් පාවිච්චි කිරීද පිළිබඳව ප්‍රකාශයක්ද ඉල්ලා තිබුණි. එයට මන්ත්‍රීවරයාගේ පිළිතුරු ලෙස අරුණ පුවත්පතේ තිබුණේ මෙසේය.

'මට හිමි නිල නිවාසය මම අරගෙන තියනේනේ. නිල නිවසේ ජල හා වතුර බිල් ද මම ගෙවනවා. මාදිවෙල මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ මන්ත්‍රී නිල නිවාසවලින් අපි ඉල්ලීමක් සිදු කර තියෙනවා නිවාස දෙන්න කියා. මම විතරක් නෙවෙයි නිල නිවාසවල මේ වන විට තවත් විශාල පිරිසක් සිටිනවා. එජනිස මහ ලේකම් මම ඒ නිසා මට හිමි නිල නිවාසයේ සිටිනවා. වරප්‍රසාදයක්ද තියෙනවා.

මම නිල වාහනද ගෙන තියෙනවා. නමුත් මම අරගෙන තියෙන්නේ මට ලැබෙන දෙවල් විතරයි සමහර හිටපු ඇමති වරුන් හේතුවක් නැතුව නිල නිවාස වල සිටිනවා. මහින්ද රාජපක්ෂත් නිල නිවාස,නිල වාහන අරගෙන තියෙනවා.

ශ්‍රි ලංකාවේ ජනාධිපතිව සිටි කාලයේ මහින්ද රාජපක්ෂ හා මෙමත්‍රීපාල සිරසේන යන දෙදෙනාම බරපතල නිල නිවාස අවභාවිතයට කර තිබුණි. ඔවුන් අවභාවිතා කලේ රටේ තියෙන වටිනාම නිල නිවාසයකි එ් ජනාධිපති මන්දිරයයි. දෙදෙනාම ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවට අගමැති නිල නිවාසය වන අරලියගහා මන්දිරය පාවිච්චි කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා පැජට් පාරේ නිල නිවාස දෙකක් එකතු කොට එකක් තනාගෙන පාවිච්චි කළේය.

 රාජවරෝදයම් සම්බන්ධන් මහතාගේ දැන් වයස අවුරුදු 86කි. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 1977දීය. එතැන් පටන් මෙතෙක් ඔහු කිසිම ආණ්ඩුවාක අමාත්‍යධුරයක් දරා නැත. ඔහු නීතිඥවරයෙකු ලෙස ත්‍රිකුණාමලයේ සේවය කර ඇත. ඔහු සතු ඩයස්පෝරා ධනයක් හෝ විදෙස් ඩොලර් ගැන මාධ්‍ය කතා හැදුවත් ඔහු වසර හතළිස් තුනක දේශපාලනය තුළ කොළඹ නගරය තුළ නිවෙසක් තනා නැත. බිම් මට්ටමේ සිට පැමිණි ඇතැම් නායකයන් මෙන් කොළඹ හතේ ඉඩම් රැගෙන නැත. ඔහුට ඇත්තේ කොළඹ සමිට් ෆ්ලැට් නම් කුඩා මහල් නිවාස සංකීර්ණයෙහි ඉහල මහලක කුඩා, ඉතා අඩු පහසුකම් ඇති නිවෙසකි. ලියුම්කරු ඒ නිවසට ගොස් ඇත.2016 දී සම්බන්ධන් මහතාට නිවෙසක් නැති බව ලියුම්කරු ලීවේ ඒ නිවෙසට ගිය පසුය. ඒ ලිපිය ලියන ලෙස ලියුම්කරුගෙන් සම්බන්ධන් මහතා ඉල්ලා සිටියේ නැත. ඉල්ලීම කළේ සම්බන්ධන් මහතාට රජයෙන් සපයා තිබුණු ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකි. හිටපු විපක්ෂ නායකවරයාගේ ඒ වනවිට වයස අවුරුදු 84ක් පමණ විය. ඉහළ මහලක තිබෙන එම නිවාසයට පඩිපෙළ නැග යෑමේ හැකියාව එන්න එන්නම දුර්වල වෙමින් පැවතුණි. එම නිසා විපක්ෂ නායකවරයා ලෙස ඔහුට ඇති අයිතිය වන නිල නිවාසය ගැන ලියන ලෙස ආරක්ෂක නිලධාරියා ලියුම්කරුගෙන් ඉල්ලීය.

සම්බන්ධන් මහතා 2019 මුල කුමන්ත්‍රණයෙන් පසු විපක්ෂ නායක ධූරයෙන් ඉවත්විය. ඉන්පසුව විපක්ෂ නායක ලෙස වැඩ බාරගත්ත මහින්ද රාජපක්ෂ මහතාය. එයිනුදු පසු සම්බන්ධන් මහතාට රජයේ අමාත්‍ය නිල නිවාසයකට රැඳී සිටීමට ඉඩ සැලසීම පැහැදිලිවම දේශපාලන තීන්දුවකි. එජනිස මහලේකම්වරයා ලෙස තමාට අමාත්‍ය නිල නිවාසයක් හිමි බව මහින්නද අමරවීර මහතා අරුණ පුවත්පතට කියා තිබුණත්, ඇත්තටම පක්ෂවල නිලධාරීන්ට නිල නිවාස හිමිවන්නේ නැත. ඒ නිසා දෙමළ ජාතික සන්ධාන නායකයා ලෙස සම්බන්ධන් මහතාට නිල නිවසක් අයිති නැත. ඔහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෙකු පමණි. 2019 දි කැබිනට් පත්‍රිකාවක් සම්මත කොට ඔහුට නිවස ලබාදුන්නා නම් , එය දේශපාලන තීන්දුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම රජයේ දේපළ පිළිබඳ යුක්තිය සලක්ද්දි මෙය දේපල අවභාවිතයකි. එහෙත් මෙය නිතිපතා සිදුවන අන්දමේ අවභාවිතයකි.

මන්ත්‍රීවරයෙකු ලෙස සම්බන්ධන් මහතාට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ඉල්ලීමේ හැකිවා ඇත. එහෙත් මාදිවෙල නිල නිවාස තට්ටු දෙකකින් සමන්විතය. එය මැද පඩිපෙළක් ඇත. සම්බන්ධන් මහතාගේ වයස , රැඩිකල් දෙමළ නායකයන්ට වෙනස්ව දකුණේ ආණ්ඩු සමග ඉතාම නම්‍යශීලීව ඔහු වැඩ කල ආකාරය වැනි කාරණා සලකද්දි ඒ දේශපාලන තීන්දුව මානුෂීය වශයෙන් තේරුම් ගත හැකි, යුක්තිසහගත එකකි.

මෙය විපක්ෂයේ දේශපාලඥයෙකුට අල්ලස් දීමක් ලෙසද කෙනෙකුට විග්‍රහ කල හැකි බව ඇත්තය. එහෙත් ඒ දිනවල මාධ්‍ය වාර්තා කළේ මෙය මහින්ද රාජපක්ෂ මහතාගේද එකඟතාවෙන් ගත් තීන්නදුවක් බවය. එහි ඇත්ත නැත්ත අපි දන්නේ නැත. කෙසේ වෙතත් ඉහත කී නිල නිවස ඕනෑ නම් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීමේ හැකියාවක් තිබුණි. මේ මොහොතේ සම්බන්ධන් මහතාට ලබාදුන් නිවසත්, එයට ගිය වියදමත් උපුටා දක්වන්නේ පැහැදිලි වුවමනාවකයට. හිටපු ආණ්ඩුව දෙමළ දේශපාලන නායකයෙකුට විශේෂ සැලකිල්ලක් දැක්වු බව ඉස්මතුකර පෙන්වමින් සිංහල ජනතාව අතර මතයක් නිර්මාණය කරන්නටය. එහෙත් ඇමති නිල නිවාස පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් ඇති බවනම් බැහැර කල නොහැකිය. නිල නිවාස ලබා දෙන්නේ කාටදැයි නිශ්චිත නීති රාමුවක් නැත. ඒ ඒ බලවතුන්ගේ දේශපාලන බලය මත නිවාස ලබා ගැනිම සිදුවෙයි. මෙය වෙනස් කල හැක්කේ ජාතීවාදී පදනමින් නිල නිවාසගැන කතා කොට නොවේ. නිල නිවාස අවභාවිතයක් සිදු නොවෙන තැනට නීතිරීති වෙනස් කිරිමටය. එජනිස මහලේකම්වරයාටද, දෙමළ ජාතික සංධාන නායකයාටද ඒ නීති එක සමානව ක්‍රියාත්මක වන තත්වයක් ඇති කිරිමය.

අනිද්දා