දේශපාලන කොරෝනාවටත් විසඳුම් සෙවිය යුතුයි - මහින්ද හත්තක

දේශපාලන කොරෝනාවටත් විසඳුම් සෙවිය යුතුයි - මහින්ද හත්තක

බොරුවක් දිගටම කීමෙන් එය ඇත්තක් සේ පෙනෙනු ඇතැයි කීමක් පවතී. එසේම බොරුවෙන් උපන් එකා බොරුවෙන්ම නසීයැයි කියමනක් ද ඇත. මේ දෙකම අදට ගැළපෙන්නේ යැයි සිතේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ දී එවකට බලයේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර විපක්ෂයේ සිටි මහින්ද රජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කෙළේ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක සහායක් නොමැති විටය. පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට අසමත් වු විට මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෝ පාර්ලිමේන්තුවේ කතානායක පුටුව පොළොවේ ගසා මිරිස් කුඩු දියර ඉසීමෙන් බහුතරය පෙන්වීමට උත්සාහ ගත්හ. එය අසාර්ථක වූ විට හිටපු ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ මෙම පියවර දෙකම වැරදිය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගත නොහැකි පුද්ගලයෙකු අගමැති වශයෙන් පත් කිරීමත් නව පාර්ලිමේන්තුව රැස්වී වසර හතර හමාරක් ගතවීමට පෙර එය විසුරුවා හැරීමත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ය. වසර හතර හමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හැකිවන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් බව පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. එය ඔහු අනුගමනය කිරීමට සපථ කළ යහපාලනයේ ද ප්‍රතිපත්තියකි. එසේ වුවත් එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ අනුගාමිකයන් එය හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක් සේය. ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට එරෙහිවීමක් සේය. ඡන්දය පැවැත්වීමට අනුගමනය කළ ක්‍රියා පටිපාටිය ව්‍යවස්ථාවට පටහැනි බව ඔවුන්ට වැදගත් වූයේ නැත.

රනිල් ඇතුළු බලයේ සිටි කණ්ඩායම ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගන්නේ යැයි ඔවුහු දිගින් දිගටම චෝදනා කළහ. මහ මැතිවරණය පැවැත්වීමේ නීත්‍යනුකූලභාවය තීරණය කිරීමට සිදුවූයේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. මැතිවරණ කොමිසමේ සභාපති ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යනුකූලභාවය ගැන කිසිදු විමසීමක් නැතිව ඡන්දය පැවැත්වීමට සූදානම්ව සිටියේය. දැන් නැවත වරක් උදාවී ඇත්තේ එවැනි තත්ත්වයකි. අප්‍රේල් 25 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දැමීමත් ඉන් පසුව කල්දමන ලද මහා මැතිවරණය ජුනි මස 20 වැනිදාට පැවැත්වීමට දින නියම කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූල වන්නේ ද යන්න නැවත වරක් තීරණය කිරීමට සිදුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. එහෙත් දැනට බලයේ සිටින පොහොට්ටුවේ සාමාජික ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළත් සාමාජිකයන් බෙරිහන් දෙන්නේ විපක්ෂය නැවත වරක් ජනතාවගේ පරම අයිතියක් වන ඡන්දය ප්‍රකාශ කිරීමට එරෙහි වන්නේය යනුවෙනි. තවත් සමහරු ඡන්ද පැවැත්වීමක් නොමැතිව ජනාධිපතිට කැමති ආකාරයට රට පාලනය කරන්නැයි ඉල්ලා සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මැතිවරණ නීති ඔවුන්ට අදාළ නැත. ඔවුන්ගේ අපේක්ෂාව රාජපක්ෂ පරම්පරාවේ අයට රට පාලනය කිරීමට ඉඩ සැලසීම පමණි. රාජපක්ෂලාගේ කැමැත්ත නීතිය සේ පිළිගැනීමට ඔවුන් තුළ කිසිම පැකිළීමක් නැත. ඊට විරුද්ධ වන්නේ රට බෙදීමට තැත් කරන ජාතිද්‍රෝහීන් ය.

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් ඉල්ලා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ නොවන දේශපාලන පක්ෂ පමණක් නොවේ. කුමන දේශපාලන පක්ෂයක් බලය දිනා ගත්තත් උපේක්ෂාසහගතව එය පිළිගැනීමට සූදානම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉදිරිපත්ව සිටිති. ඔවුන්ට වැදගත් වන්නේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඇතිව සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට අනුකූලව පවත්වන්නේ ද යන්නයි. ඒ කුමන රටක හෝ නීතියේ ආධිපතයය පැවතිම එහි සමාජ සංස්ථාවල පැවැත්මටත් ජනතාවගේ පුද්ගල අයිතීන් තහවුරු කිරීමේ පදනමක් වන නිසාය.

නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීම ජනතාවට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කිරීමේ අවස්ථාවකි යන්න ගැන ඔවුන් තුළ කිසිම සැකයක් නැත. ජනතාවට තම කැමැත්ත අනුව පාලකයන් තෝරා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ මහ මැතිවරණයක් තුළින් පමණි. රටේ නීතිගරුක පුරවැසියන්ගේ අපේක්ෂාව මෙන්ම ඔවුන්ගේ අයිතියක් වන්නේ තම මතය නිදහස්ව සහ සාධාරණව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා ගැනීම සහ එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය පැවැත්වෙන බවට සහතිකයක් ලබා ගැනීම ය.

ඇත්තෙන්ම අද රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී රට තුළ පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක් බවට කිසිදු විවාදයක් නැත. අදිසි සතුරෙකු වූ කොරෝනා වසංගතය පිළිබඳව රටේ සියලු ජන කොටස් තුළ ඇත්තේ භීතියකි. එම රෝගය වැළැඳ ඇත්තේ කාටද යන්න බාහිර පෙනුමෙන් කිසිවෙකුට තහවුරු කර ගත නොහැකි නිසා තම ආරක්ෂාව සලසා ගැනීමට ඇත්තේ ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීමත් සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමත් පමණි. මෙම රෝගී තත්ත්වය සුව කිරීමට නිසි ඖෂධයක් තවම සොයා ගෙන නැති නිසා පවතින්නේ වඩාත් භයානක තත්ත්වයකි.

තම රැකියාව සඳහා නිවසින් පිටව යෑමට පවා තහංචි පනවා ඇති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් පවතින්නේයැයි කිව හැකිවන්නේ මිනිස් ජීවිත ගැන තැකීමක් නැති අයෙකුට පමණි. එවැනි පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරාම කොවිඞ් 19 වසංගත තත්ත්වයක් ඇති බවට ප්‍රකාශ කර තිබියදී මහ මැතිවරණයක් කැඳවීම, සියල්ලට වඩා බල අරගලය වැදගත් කොට සලකන බවට පැහැදිලි නිදසුනකි.

සමස්ත ලෝකයටම අලුත් අත්දැකීමක් වන කොවිඞ් 19 වසංගතයට මුහුණ දිය යුතු ආකාරය ගැන ලෝකයේ විවිධ රටවල විවිධ මත තිබෙන බව සත්‍යයකි. මෙම වසංගත තත්ත්වය නිසා තම දෛනික ජීවිතයට කිසිසේත්ම සීමා පැනවීමට අකමැති පුද්ගලයන් මෙන් රාජ්‍ය නායකයෝ ද සිටිති. තම ආර්ථික කටයුතුවලින් ලැබෙන ලාභය කුමන තත්ත්වයක් යටතේ හෝ සීමාකර ගැනීමට අකමැති පිරිස් ද සිටිති. එමෙන්ම නිවසට (නිවසක්යැයි කිව හැකි තැනක් ඇත්නම්) සීමාව සිටීම නිසා එදිනෙදා ජීවිතය පවත්වාගත නොහැකි සැලකිය යුතු ජන කණ්ඩායමක් ද සිටිති. එම නිසා ප්‍රබුද්ධ නායකයන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජන සමාජයට අඩුම හානියක් සිදුවන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම ය. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ සම්පත් පිළිබඳව දරුණු අර්බුදයකට මුහුණ දී ඇති ලංකාව වැනි රටක විශාල ජන කොටසක් අවදානමට ලක් කිරීමකි. අපේ රටේ පාලකයන්ට මෙවැනි වසංගතයකට මුහුණදීමේ දී අනුගමනය කළ යුතු අවම ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් හෝ වුවමනාවක් නැති බව කොවිඞ් 19 වසංගතයේ දෙවැනි රැල්ල මතු වූ ආකාරයෙන්ම පෙනේ. අණ සහ විනය ඉහළින්ම පවතින්නේයැයි පැවසෙන හමුදාවේ පවා අවම සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොතිබිණ.

ඒ පවතින වාතාවරණයේ එක පැත්තකි. ඊට අමතරව නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමේදී එහි සුජාත භාවය පවත්වා ගැනීම වැදගත් ය. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තේරී පත්වන පාර්ලිමේන්තුව අඩුම වශයෙන් වසර හතර හමාරක කාලයක් පැවතීමත් මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් කෝටි 700කටත් වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීමත් සැලකිල්ලට ගත යුතුය. එම නිසා පවතින නීතිය එහි නියමාර්ථයෙන්ම අනුගමනය කිරීම සම්පූර්ණ ක්‍රියාවලියේ සුජාතභාවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. එය නොසලකා කටයුතු කිරීම කුමන ආකාරයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයක්යැයි සාධාරණය කළ නොහැකිය. එම ක්‍රියා මාර්ගයට විරුද්ධ වන අය බෙදුම්වාදීන් හෝ දේශද්‍රෝහීන්යැයි හැඳින්වීමෙන් හෝ එම ක්‍රියාමාර්ගයට සුජාත භාවයක් හිමිවන්නේ නැත.

අවධානය යොමුවිය යුතු තවත් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය, පවතින නීති රීති නොසලකා කටයුතු කිරීමට දක්වන නැඹුරුවයි. ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත්වීම් සිදු කිරීමේ සිට මහා මාර්ගයේ වාහන ධාවනය කිරීම පාලනය කිරීම පෙන්නුම් කර ඇත්තේ එයයි. මහා මාර්ගයේ රථ වාහන පාලනයට ඒ සඳහා පුහුණුවක් ඇති පොලිසියට අමතරව හමුදාව යොදවන අතර උසස් තනතුරුවලට පත් කිරීමේ දී වැදගත්ම සුදුසුකම වී ඇත්තේ හමුදාවේ නිලයක් දැරූ අයෙකුවීම හෝ රාජපක්ෂ පවුලේ හිතවතෙකුවීම ය. එම තනතුරු දැරීමට සුදුසුකම් සහ නිපුණතාවක් ඇත්ද යන්න ඔහුට වැදගත් නොවේ. තානාපති තනතුරකට දේශපාලන හෝ කිසිම රාජ්‍යතාන්ත්‍රික නිපුණතාවක් හෝ අත්දැකීමක් නැති ගායකයෙකු පත් කරන්නේ පවතින සම්මත නොතැකීම නිසාය.

එම නිසා සෞඛ්‍ය අවදානම නොතකා පාර්ලිමේන්තුව විසිරවීම සහ ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්යැයි ඇඟ බේරා ගැනිමට ගන්නා උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ ව්‍යස්ථා අර්බුදයකට වඩා දේශපාලනයේ අර්බුදයකි. එනම් ව්‍යවස්ථාපිත නීතිරීති නොසලකා තම අභිමතාර්ථය අනුව කටයුතු කිරීමට ඇති පෙළඹීමයි. තමාගේ වැඩ කටයුතුවලට ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය බාධා නොකළ යුතුයැයි අනතුරු හැඟවූයේ එම නිසාය.

දිනෙන් දින උග්‍රවන දේශපාලන කොරෝනා වසංගතයට සදා නිම කළ පිළිතුරු නැති බව පසුගිය ඉතිහාසයෙන් පෙන්නුම් කරයි. අධිකරණයෙන් ලබාදෙන තීන්දුවලට හිස නමන නමුත් ගරු නොකරන සංස්කෘතියක් අපට පවතී. ඒ සඳහා නිදසුන් අපමණ ය. එම නිසා සැබැ විසඳුම් ලබා ගතහැකි වන්නේ පිරිහීමට ලක්ව ඇති දේශපාලන ආර්ථික සමාජ ක්‍රමය නැවත හැඩ ගැසීමකින් පමණය. එහි මුල් පියවර වන්නේ නිවැරදි දේශපාලන ක්‍රියාමාර්ගයකට පිවිසීම ය. ඒ හැර වෙනත් විකල්ප නොමැති බව මෑත ඉතිහාසයෙන් නැවතත් පෙන්නුම් කර ඇත.

(රාවය පුවත්පත)