‘නඩු වලින් කට්ටි පනිමින්’ විනයගරුක රටක් සෑදිය හැකිද?

‘නඩු වලින් කට්ටි පනිමින්’ විනයගරුක රටක් සෑදිය හැකිද?

නීතිගරුක සාමාන්‍ය පුරවැසියෙක්ට මෙරට නීතියෙන් කට්ටිපැනිය හැකිද? සරලම උදාහරණය සාමාන්‍ය යතුරු පැදිකරුවෙක් මාර්ග බලපත්‍රය නොමැතිව ධාවනය කර හසුවුනොත් ලැබෙන උසාවි වරෙන්තුවෙන් කට්ටි පැනිය හැකිද? රැකියාවෙන් නිවාඩු ගෙන, දවසක් තිස්සේ උසාවියේ රස්තියාදුවී, දඩයකුත් ගෙවා, ලෝයර් ගාස්තුවත් ගෙවනවා හැරෙන්නට මාසයක් දෙකක් නඩුව කල්දාන්නට ඉල්ලන කිසිවෙකුත් නැත. ඒ තරමට එක පැත්තකින් සාමාන්‍ය ජනයා නීතිගරුකය, විනයගරුකය.

කට්ටි පැනීම

ඉඳහිට නඩුවලින්, පොලීසියෙන් කට්ටිපනිමින් සිටින මිනීමරුවන්, මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් වැනි අපරාධකරුවන් දැකිය හැකිය. එහෙත් කුමක් හෝ උප්පරවැට්ටියකින් අදාල අපරාධකරුවන් අල්ලා උසාවි ගෙනයන්නට පොලීසිය ඉතා දක්ෂය. ඒ නිසා අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිමින් තමන්ගේ නිර්දෝෂීභාවය පරික්ෂාකරගැනීමට කිසිඳු පුරවැසියෙක් බියවිය යුතු නැත. ඒ තරමටම ලංකාවේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් පවතින බවට සාධක ඕනෑතරම් අප සතුය.

එසේනම් ගෝඨාභය රාජපක්ෂ හෙවත් පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකතුමන් දිගින් දිගටම නඩුවලින් කට්ටි පනිමින් විවිධ හේතු කියන්නේත් ඇයිද යන්න සරල ගැටළුවකි. ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය සඳහා අයථා මුදල් වැයකිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම නඩුවට සහභාගීනොවී එම නඩු විභාගය කල්දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඇයි? එසේම ලලිත්-කුගන් පැහැරගැනීම සම්බන්ධ නඩුව විභාගයට යාපනයට පැමිණීමට ආරක්ෂක තත්වය ප්‍රමාණවත් නොවන බව කියා මගහරින්නේ ඇයි? මේවා මහජනතාවට පවතින ගැටළුය.

යුද්දේ දින්නා - සංවර්ධනය කළා

අපි ගෝඨා ට, ගෝඨා අපිට, යුද්දේ දින්නා, පාරවල් හැදුවා කියා මේ ප්‍රශ්නය මගහැරිය නොහැකිය, වංගු ගැසිය නොහැකිය. හිතනවාට වඩා බරපතලය. යුද ජයග්‍රහණයට සක්‍රීයව දායකවීම, නාගරික සංවර්ධනයට සක්‍රීයව දායකවීම අගයකළ යුතුය. ඒ ගැන සැකයක් නැත. ඒ සඳහා ලබාදියයුතු සියළුම ගෞරවය සහ ඇගයීම ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන්නට දෙවරක් සිතිය යුතු නැත.

එහෙත් එවැනි දේ කිරීම වංචා,දූෂණ හෝ අපරාධ කරන්නට ලැබෙන ලයිසන් එකක් නොවේය. හුදෙක්ම දේශප්‍රේමීත්වය හෝ ඒ හා සමාන රඟපෑම් පවා අපරාධ කරන්නට විවෘත කරදෙන දොරටුවක් නොවන බව අවබෝධකරගත යුතුය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති සරලම උත්තරය වන්නේ තමන් නිවැරදිනම් උසාවි යන්නට බය ඇයිද කියාය. තමන් නිවැරදිනම් උසාවියෙන් කට්ටි පනිමින් මෙරට අධිකරණ පද්ධතිය ඉදිරියේ වංගු ගහන්නට උත්සහ කරන්නේ ඇයිද කියාය. 

අධිකරණය අනතුරේ!

එසේම ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ නිරතුරුවම භාවිතාකරන වචන කීපයක් ඇත. ‘නීතිගරුක රටක්’ සහ ‘ විනයගරුක රටක්’ ඒ අතරින් ඉදිරියෙන්ම වේ. මහබැංකු හොරකම ගැන කියා ඒ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනඑන බවටද නිතර කියනු ඇසේ. ජනාධිපතිධූර අපේක්ෂකයෙක්ට එසේ කියන්නට පරම අයිතියක් ඇත. ඒ ගැන සැකයක් නැත. එහෙත් අධිකරණයෙන් කට්ටිපනිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ එසේ කියන විට එහි පොඩි නොව බරපතල අවුලක් ඇත. නායකයන් ‘යථාවාදී තතාකාරී’ විය යුතුය. එනම් කියන දේ කරන කෙනෙක් විය යුතුය. 

තමන් අධිකරණයේ නඩුවලට සහභාගී නොවී, විවධ හේතු කියමින් අධිකරණය මගහරින අතර විනයගරුක රටක් නීතිගරුක රටක් ගැන පම්පෝරි ගැසීම දශකයේ විහිළුව බව කිව යුතුමය. එපමණක්ද නොව එවැනි ටොම්පච කියන පුද්ගලයෙක් රාජ්‍ය නායකයා ලෙස පත්කරගැනීම කොතරම් භයානකද? 

මීටත් වඩා බරපතලම කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හිතවාදීන් මේ නඩු කල්දාගන්නට උත්සහ කරන්නේ තමන් බලයට පැමිණියහොත් ඒවාට අනවශ්‍ය අතපෙවීමක් කිරීමේ බලාපොරොත්තුවෙන්ද යන සාධාරණ සැකයයි. නොවැම්බර් 17 තමන් ජයග්‍රහණය කළහොත් එදිනම විවිධ හේතුමත සිරගතකර සිටින සියලුම හමුදා සෙබලුන් නිදහස් කරන බවට කරන ලද ප්‍රකාශයත් සරල එකක් නොවේය. සිරගතව සිටින හමුදා සෙබලුන් අතර විවිධ බරපතල අපරාධවලට දඬුවම් විඳින ඇත්තෝද වෙති. එවැන්නන් නිදහස් කිරීම සිදුකරන්නට කතාකිරීම ඉතා භයානක කාරණයකි. එවැනි නිදහස් කිරීම කොතැනකදී හෝ දුමින්ද සිල්වා නිදහස් කරන තැනට පැමිණියහොත් පුදුම වියයුතු නැත. ඒ නිසා ගෝඨාභය මේ සියලු කාරණාවලින් පෙන්වා දෙන්නේ තමන්ගේ වුවමනාව ඇත්තේ බලයට පැමිණි පසු අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය අතපෙවීමක් කර තමන්ගේ නඩු ටිකත් කෙළවර කරගෙන අනිත් අයගේ නඩුත් කෙළවර කරන්නට සූදානම් බව නොවේද?

ඉතිහාසයේ පාඩම්

මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳ අවධානය යොමුකළහොත් ශිරාණි බණ්ඩාරණායකලාට සිදුවූ දෙය, තමන්ට හිතවත් අගවිනිසුරුවන් ගේ ක්‍රියාකලාපය ගැනත් සිහපත්කළහොත් තරු විසිවන රටකට ගෝඨාභයගේ මේ ප්‍රකාශවලින් සහ වැඩපිළිවෙලින් අනාගතය ගැන සාධාරණ බයක් ඇතිවීම වැලැක්විය නොහැක. විනයගරුක රටක් හදන්නට කලින් තමන් වියගරුක විය යුතුය, තතමන් නීතිගරුක විය යුතුය. ඒ ගැන කියවෙන සරල කවියකින් මේ ලියවිල්ල අවසන් කළ හැකිය.

ඔවා දෙනු පර හට - තමා සම්මතයෙ පිහිටා සිට - දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියනු බණ වැනි

(කවීෂ්වර)

More Articles