රතන හාමුදුරුවන්ට දැන් හිස්බුල්ලා විරුවෙකි! හෙළයෙකි! දේශප්‍රේමියෙකි!

රතන හාමුදුරුවන්ට දැන් හිස්බුල්ලා විරුවෙකි! හෙළයෙකි! දේශප්‍රේමියෙකි!

අතුරලියේ රතන හිමියන් යනු මෙරට තරුණ නැගී සිටීම් සමග දුර්දාන්ත පාලනයන්ට එරෙහිව සිය මතවාදීමය සහ ක්‍රියාකාරී අරගලය දිගින් දිගටම දියත්කළ හිමිනමක් බව අවිවාදයෙන් කිව යුතුය. ජනතා මිතුරෝ සිට සිහළ උරුමය දක්වා ඒ හිමියන්ගේ ගමන්මාර්ගය පටිසෝතඝාමී එකක් බව සැකයක් නැත.

එහෙත් 2004න් පසු රතන හිමියන්ගේ සිග් සැග් මාදිලියේ දේශපාලන ගමන්මාර්ගය දිගින් දිගටම උන්වහන්සේගේ දේශපාලන ජීවිතය මෙන්ම මතවාදය හුදෙක් අවස්ථාවාදි එකක් බව පෙන්වා දුන් අතරම ඉඳ හිට වැදගත් යමක් මතුකරද බහුතරයක් අවස්ථාවල පුස් දේශපාලන චරිත රජ කරවන්නට තමන්ගේ වචන සහ කාය ශක්තිය වැය කරනු දක්නට ලැබුණි.

සිරිසේන ජනාධිපතිවරයා සමග කෝන්තර හදාගෙන ආණ්ඩුවෙන් එළියට බට රතන හාමුදුරුවන් පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව පොලවේ පස්කන්නට හැදුවේය. අන්තිමේදී දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් කලේ බදුර්දීන්, හිස්බුල්ලා, අසාද් සාලි තනතුරුවලින් පන්නන ලෙස ඉල්ලමින්ය. මාරාන්තික උපවාස තිබ්බාට මැරෙන්නට පෙර බලෙන් හෝ ඉස්පිරිතාලයට ගෙනයන බව ලංකාවේ ඕනෑම පොඩි එකෙක් දනී.

උපවාසයෙන් පස්සේ හිසිබුල්ලා විසින් ගොඩනගමින් තිබෙන රාජපක්ෂ පාලන සමයේ මුල්ගල් තැබූ මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටිකලෝ කැම්පස් එකට බලහත්කාරයෙන් ඇතුල්වෙමින් රතන හාමුදුරුවන් මොරගෑවේ එය තහනම්කළ යුතු බවත් හිස්බුල්ලාට දඬුවමි දිය යුතු බවත් ය.

මේවා දෛවයේ සරදම් ය. අද රතන හාමුදුරුවෝ ඉන්නේ ගෝඨාභයගේ ඔඩොක්කුවේ ය. 2015 මහින්දලා ඇලජික්වූ රතන හාමුදුරුවන්ට දැන් රාජපක්ෂලා වීරයන්වී ඇත. එසේ නම් උන්වහන්සේගේ ප්‍රතිපත්ති ගැන එතනින් එහාට කතාකර වැඩක් නැත. රතන හාමුදුරුවන් එළීපිට විරෝධය දැක්වූ හිස්බුල්ලාත් දැන් පිටපාරෙන් ගෝඨාභයට බැහැලාම වැඩ ය. ඒ කියන්නේ දැන් රතන හාමුදුරුවන් සහ හිස්බුල්ලා දෙදෙනාම ගෝඨාභයගේ ඔඩොක්කුවේ ය.

දැන් ඉතින් රතන හාමුදුරුවන්ට හිස්බුල්ලා ගැන වැරදි කියන්නට ඉඩක් නැත. හිස්බුල්ලා ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන්නානම් සහ දෙනවානම් හිස්බුල්ලාගේ සහය ලැබෙන කඳවුරකට සහය දිය නොහැකිය. එසේම හිස්බුල්ලාගේ සහය ගෝඨාභය ගන්නවානම් තමන්ගේ සහය ගෝඨාභයට නොලැබෙන බවට කියන්නට උන්වහන්සේට කශේරුකාවක් නැත.

මිනිසුන් වයසට යද්දී මොළයද වයසට යයි, ඉහ නිකට පැහෙද්දි ගමේ අම්මණ්ඩිලාට මතක්වන්නේ ආගම ධර්මයයි, හීනෙන් පේන්නේ ද නිවනයි. රතන උන්නාන්සේට එය අනිත් පැත්තය දැන් ආගම ධර්මය වෙනුවට ඉහ නිකට සුදු වෙද්දී ආගම ධර්මය විතරක් නොව ප්‍රතිපත්තිද අමතකවී ඇත.

හෙට රතන හාමුදරුවන්ගේ මුවින්ම බැටිකලෝ කැම්පස් එක ඉස්ලාම් අන්තවාදී ව්‍යාපෘතියක් නොවන බවට දේශනා කළහොත් පුදුම නොවිය යුතුමය. ඒ තරමටම දැන් උන්වහන්සේට එදා ජනතා ද්‍රෝහීන් වූ රාජපක්ෂලා දේශප්‍රේමීන් වූවාක් මෙන්ම අන්තවාදීන් වූ හිස්බුල්ලලා ජාතික වීරයන් බවට පත්ව ඇත. අහෝ ඛේදයකි, ඉරකි, තිතකි අන්තිමටම කොමාවකි.