වර්ගවාදය අවුලවන දේශපාලනඥයිනි, ප්‍රවේසම්වනු!

වර්ගවාදය අවුලවන දේශපාලනඥයිනි, ප්‍රවේසම්වනු!

කොරෝනාවෙන් හොම්බෙන් ගොස් සිටි ඇමරිකාව කබලෙන් ලිපට වැටී ඇත. හැම දිස්ත්‍රික්කයකම, හැම නගරයකම ඇත්තේ පෙළපාලි සහ විරෝධතාය. ඒ අතරේ හිංසනයන් අඩුවක් නැත, නීතිය අතට ගෙන කඩ සාප්පු, වාහන ගිනි තබන තැනට විරෝධතාකරුවන් මෙන්ම ඒ අතරේ වෙනම ගේම් ගහන පිරිස් පත්වෙලාය. ඇමරිකාව මේ නෙලන්නේ වපුරපු අස්වැන්න බව සැකයක් නැත.

වර්ගවාදය ඇමරිකාව තුල කාලෙන් කාලෙට මතුවන මාතෘකාවක් වුනත් මෙවර කළු ජාතික නිරායුද මිනිසෙක් මහ දවාලේ සුදු පොලිස් නිලධාරියෙක්ගේ පයට පෑගී මැරෙන අයුරු වීඩියෝවක සඳහන්වීමත් එය ප්‍රචාරය වීමත් සමගින් කාලයක් තිස්සේ හිරකරගෙන සිටි පීඩනයන් කළු ජාතිකයන් එළියට දාන්නට පටන්ගත්තේ සීමාවක් නැතිවමය. දැන් කළු ජාතිකයන්ගේ අරගලයට වර්ගවාදයට විරුද්ධ සුදු ජාතිකයන්ද එක්ව සිටී. දැන් එය පොදු අරගලයක් බවට පත්ව, ඇමරිකාව පමණක් නොව වෙනත් රටවල් වෙතද වේගයෙන් පැතිර  යමින් තිබේ.

මෙය තවත් අරාබි වසන්තයක් බව වරදවා තේරුම්ගත යුතු නැත. එදා ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන්ලා වහල් සේවයට අදාල නීතී ඉරා විසිකර ස්වාධීන මිනිස් පරපුරක් නිර්මාණය කරද්දි, ඒ පරපුරට මාර්ටින් ලූතර් කිංලා, නෙල්සන් මැන්ඩෙලා ලා පන්නරය දෙද්දී යටගිය ප්‍රශ්න ගණනාවක් නැවත මතුවී ඇත.

මිනිසෙකුගේ සමේ වර්ණය හෝ උපත්ති මූලය පදනම් කරගෙන අසාධාරණයට ලක්වෙනවා යන්නම ශිෂ්ටසම්පන්න ලෝකයක් යැයි උදම් අනනා ලෝකයක විලිලැජ්ජාවට පත්විය යුතු නිර්වස්ත්‍ර ක්‍රියාවකි. සෑම ධර්මයකම, සෑම ආගමකම, සෑම දර්ශනයකම මිනිසාගේ සමානාත්මතාවයේ වටිනාකම ලොකු අකුරුවලින් ලියා තිබියදී වර්ගය සම්බන්ධයෙන් උද්දච්ඡකමින් හැසිරෙන දේශපාලනඥයන් ප්‍රධාන වශයෙන්ම මෙකී වර්ගවාදී අර්බුදවල අළු යට ගිනි වලට පිඹින්නාවූ මකරුන් බව සහතිකය.

ඇමරිකාවේ ජනාධිපතිවරයා 2016 බලයට පත්වෙන්නේම ඇමරිකානු සුදු ජාතීන්ගේ හිත දිනාගැනීමට උපක්‍රමශීලීව භාවිතා කලේ වර්ගවාදයයි. සිය මැතිවරණ යාන්ත්‍රණයේ යටිබිම්ගත ව්‍යූහය සකස්වී තිබුණේ ඇමරිකාව තුල පැවති ප්‍රජාතන්ත්‍රවාදයෙන් සහ සමානාත්මතාවයෙන් සුදු ජාතික බහුතරයකට ‘අසාධාරණයක් සිදුව ඇතැයි’ යන අර්බුදකාරී ආකල්පයයි. මෙම ආකල්පය ඉතා සූක්ෂමව සුදු ජාතිකයන්ගේ මනසට රිංගවා මැතිවරණයේ ජය වෙනුවෙන් ට්‍රම්ප් සිදුකල සැලැස්ම එවකට ඇමරිකානු මාධ්‍ය පවා ඉතා පිළිකුලෙන් බැහැර කරන ලදි.

දැන් ට්‍රම්ප් සිටින්නේ තමන්ගේ ඉදිරි වසර හතරේ ජනාධිපති හීනයේ ඉරණම තීරණය කරන මාස කීපයේය. කොරෝනා සටනේ ට්‍රම්ප් කොතරම් ධනාත්මකව ක්‍රියාකලද රටේ ජනතාව තුල මතුව ඇත්තේ ඔහු එයින් සම්පූර්ණයෙන් අසාර්ථක බවය. ඒ නිසා ට්‍රම්ප්ට මැතිවරණය වෙනුවෙන් ඉතිරිවූ එකම තුරුම්පුව නැවත වර්ගවාදය අවුස්සා ගැනීමය. ට්‍රම්ප් ඒ වෙනුවෙන් පිඹුරුපත් සකස් කරමින් සිටියදී ට්‍රම්ප්ගේ උද්දච්ඡකම් වලින් පිම්ඹුනු ඇතැම් පොලිස් නිලධාරින් කළු ජාතිකයන්ට එරෙහිව නිරන්තරයෙන් හිංසනය මුදා හරින ලදි.

එහි කූටප්‍රාප්තිය පසුගිය 26 වැනිද වාර්තා වෙද්දී ට්‍රම්ප් බලාපොරොත්තුවෙන් සිටි වර්ගවාදී සැලැස්ම බූමරංගයක් බවට පත්ව ඇති බව පැහැදිලිය. රටතුල ට්‍රම්ප්ට එරෙහි ජනමතය 54% දක්වා ඉහළ ගොස් ඇත්තේ බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙක්ට එරෙහිව ජනතා අප්‍රසාදය වැඩිම ප්‍රතිශතයකින් වාර්තා වෙමින්ය. වාර්තා වන අන්දමට වර්ගවාදයට එරෙහි අරගලය ධවල මන්දිරය දෙසට පැමිණීම වැලැක්වීමට විශේෂ ආරක්ෂක විදිවිධාන ද තරකර ඇත.

ලංකාවේ වර්ගවාදය අවුලමින් දේශපාලන වේදිකාවේ පෝඩියම් පලන, පාර්ලිමේන්තුවේ කප් ගසන දේශපාලනඥයින් මෙකී සිදුවීම බාරගන්නේ ‘මහා ප්‍රජාතන්ත්‍රවාදයටත් කෙළවුණා’ යනු මරිමෝඩ අර්ථයෙන් මිස තමන්ගේ වර්ගවාදී,ජාතිවාදී වැඩපිළිවෙලටත් කෙදිනක හෝ කණකොකා හඬලන බවට සන්නිවේදනය වීමකින් නොවන බවනම් හැබෑය. එවැනි සරල දෙයක්වත් තේරුම්ගන්නට තරම් ඔවුන්ගේ බුද්ධිය මෝරාද නැත. ඒ නිසා මේ ලියමනේ සරල සිංහලෙන් ලියා තිබෙනා දෑ කියවාගන්නට හැකිනම් අනාගතයට වටිනාකමක් ලැබෙනු ඇත.

1818 සහ 1848 අරගලයන් නිර්මාණය වන්නේ බ්‍රිතාන්‍ය කිරීටය විසින් ස්වදේශිකයන් අරඹයා සිදුකරන ලද අසාධාරණකම් මෙන්ම සංස්කෘතිය සහ බෞද්ධාගමට නොසලකන තැනට ආක්‍රමණිකයන් පත්වීම සමගය. එහෙත් 1971 සහ 1988-89 තරුණ නැගීසිටීම්වලට මෙන්ම උතුරේ මතුවූ තරුණ නැගිසීටිම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බවට පත්වන්නට හේතුවන්නේද වර්ගවාදී අසාධාරණකම්ය.

උතුරේ මෙන්ම දකුණේද කුල පිඩනයෙන් දැඩිලෙස අසාධාරණයට ලක්වූ ජනතාව අතරේ විරැකියාවද දරුණු තැනට පත්වෙද්දි තරුණ ප්‍රජාව කැරැල්ලක් දක්වා දිගුකරන්නේ වර්ගවාදය නිසා තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිවීමට සහ එකී වර්ගවාදයට ලංකාවේ ආන්ඩු සහ දේශපාලන පක්ෂ බහුතරයක් එළිපිට සහය දැක්වීමත් සමගය. එකී අරගලවල ක්‍රියාකාරිත්වයන් සහ විකාශනයන් සම්බන්ධයෙන් විවේචන ඇති නමුත් ඒවාට මූල වූයේ වර්ගවාදය බවට සැකයක් නැත.

එදා ලංකාවේ වර්ගවාදයට එරෙහිව ජනතාව අති බහුතරයක්  දේශපාලන සහ කුල ගෝත්‍ර බෙදීමකින් තොරව නැගී සිටියානම් මීට වඩා ලස්සන සහ ශිෂ්ඨසම්පන්න රටක් අපිට හිමිවනු ඇත. එහෙත් එදා සිටම අද දක්වා දේශපාලන පක්ෂ, සංවිධාන මෙන්ම ආගමික පූජකයන්ද අති බහුතරයක් වපුරමින් සිටින්නේ වර්ගවාදයයි. එය විවිධ ස්වරූප වලින් විවිධ වෙස් මුහුණු පැළඳගෙන පැමිණියද යටින් ඇත්තේ වර්ගවාදයයි.

එකී වර්ගවාදය තවදුරටත් පෝෂණය කරහොත් කිසියම් දිනක පොදු ජනතා නැගිටීමක් එයට එරෙහිව නොපැමිණේවියැයි කිසිවෙකුට සහතිකයක් දිය නොහැකිය. එදාට හැංගෙන්නට තැන් සොයනවාට වඩා වැදගත්වන්නේ අද තමන්ගේ මුග්ධ වර්ගවාදී න්‍යාය පත්‍රයන් හකුලා ගැනීමය. ඒ නිසා අද ඇමරිකාවේ මතුවෙමින් තිබෙන වර්ගවාදයට එරෙහි ගිනි දැල්ලෙන් වඩාත්ම ප්‍රවේසම් විය යුත්තේ ලංකාවේ වර්ගවාදය පෝෂණය කරන දේශපාලනඥයින් ම බව අවසානයේ ලියා තැබිය යුතුය.