පෑඩ් මෑන් ලා සහ ‘චූ’ මෑන්ලා

පෑඩ් මෑන් ලා සහ ‘චූ’ මෑන්ලා

සජිත් ප්‍රේමදාස මැතිවරණ වේදිකාවේ කියනා බොහෝ දේ කියන්නේ කෙලින්ය. ඒවායේ වචනාර්ථ අල්ලාගෙන විකෘති කරන කණ්ඩායම වනාහි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත මඩ ව්‍යාපාරයේ යෙදෙන බුකි ගොට්ටන්ය. තමන්ට කරන්නට පුළුවන් දේ කීම සහ කරන්නට බැරිදේ බර වචන දමා දිග වාක්‍ය අතරේ සැඟවීම යන දෙකෙන් වඩා හොඳ එක තෝරාගත යුතුය.

පසුගියදා සජිත් මැතිවරණ වේදිකාවේ කියා සිටියේ තමන් බලයට පැමිණියහොත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන වැඩ පිළිවෙලක් දියත් කරන බවය. එය අසා බුකියේ ගෝඨාභය හිතවාදීන් සජිත්ට ‘පෑඩ් මෑන්’ යනුවෙන් මඩ පෝස්ට් නිර්මාණය කළද සැබෑ ලෙසම ‘පෑඩ් මෑන්’ යන්න ගෞරවාර්ථයෙන් බාරගත හැකි විරුදාවලියකි. තමන්ගේ බිරිඳ ආර්තව සමයේ සනීපාරක්ෂක තුවා මිලට ගත නොහැකිව සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට පැරණි රෙදි කෑලි පාවිච්චි කරනු දුටු ඉන්දියානු මිනිසෙක් බිහිකල යන්ත්‍රයක් හරහා ඉන්දියාවේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් දක්වා වර්ධනය විය.

සජිත් සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බව කිව්වේ නිකන් නොවේය, එසේම තමන්ගේ බිරිඳට ආදරයක් ඇති, ඇයට සතෙක්ට මෙන් නොසලකන ඕනෑම ස්වාමිපුර්ෂයෙක් සිය බිරිඳගේ ආර්තව වේදනවා ඉතා හොඳින් දනියි.

එවැනි සැමියෙක් වන සජිත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බව කියූ විට එයින් රිදෙන්නේ ගෝඨාභය හිතවාදී පිරිමි කණ්ඩායමකටය. එහෙත් ලංකාවේ පවා කාන්තාවන් විශාල ප්‍රතිශතයක් සනීපාරක්ෂක තුවා මිලට ගත නොහැකිව පැරණි රෙදි කැබලි පාවිච්චි කරන බව ඒ පිරිමි රොත්ත නොදන්නවා ඇත.

සනීපාරක්ෂක තුවා වලට බදු ගහන්නට පටන්ගත්තේ අද ඊයේ නොවේය. ඒ සඳහා වන සෙස් බද්ද මීට අවුරුද්දකට පෙර දක්වාම පැවතියේ 30%ක තරම් ඉහළ අගයකය, එපමණක් නොව සනීපාරක්ෂක තුවා සඳහා වරයා බදු, වැට් බදු පමණක් නොව ජාතිය ගොඩනැගීමේ බදුද පනවා තිබුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින්ය.

එහෙත් මුදල් ඇමති මංගල මැදිහත්වී පසුගිය වසරේ ඒ සියලු බදුවලින් නිදහස් කළ අතර අසාධාරණ මුදලකට අලෙවි කෙරෙන සනීපාරක්ෂක තුවා අලෙවියද තහනම් කරනු ලැබීය.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් කාන්තා වෙළඳ හා වාණිජ මණ්ඩලය සමග එක්ව ලංකාව පුරා සනීපාරක්ෂක තුවා නිපදවීම සුළු කර්මාන්තයක් ලෙසින් ප්‍රචලිත කරන්නටද අවශ්‍ය යන්ත්‍ර උපකරණ සඳහා දායකත්වය දෙනු ලැබීය.

එතනින් එහාට දෙයක් කරන්නට නොලැබෙන්නේ කාන්තාවගේ ආර්තවයේ වේදනාව සහ සනීපාරක්ෂක තුවා මිල නිසා විඳින පීඩාව දැනුනේ මෙරට දේශපාලනඥයන් කීප දෙනෙක්ට පමණක් වන නිසාත් රටේ ලොකුම තැනට එසේ නොදැනුන නිසාය. නමුත් සජිත් ප්‍රේමදාස ‘ආර්ථව දිළීඳුකම’ යන්න හොඳින් වටහාගෙන සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බව පැවසූ විට එය ගෝඨාවාදී පිරිමින්ට ජෝක් එකක් වුනත් කාන්තාවන්ට එය යම්කිසි සැනසිලිදායක තත්වයක් නිසා ඔවුන් නිහඬවම එයට ආශිර්වාද කරන අයුරු පෙනෙන්නට ඇත.

Period Poverty යන සංකල්පය නැතිකිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මකවන මානව හිතවාදීන්ට බ්‍රිතාන්‍ය තුල ජාත්‍යන්ත පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන තැනට ප්‍රතිපත්ති වෙනස් කිරීමට හැකියාව ලැබුණි. ස්කොට්ලන්තය තමන්ගේ රටතුල සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන්නට පමණක් නොව ලොව පුරා ශිෂ්‍යාවන්ට නොමිලේ ලබාදීමට අවශ්‍ය ව්‍යාපෘතියකට සූදානම් වෙමින් සිටියි.

ලොව එවැනි කාන්තාවන්ට හිතකර තැනකට සිය ප්‍රතිපත්ති වෙනස් කරද්දි ජනතාවට ආදරෙයි කියා පපුවට ගසාගන්නා පාලකයන්ගේ ගෝලබාලයින් එකී පාලකයන්ගේම වුවමනාවට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ යෝජනාවකට ගරහන තැනට පත්වීම පුදුමයක් නොවේය. මෙවැනි යෝජනාවක් ඉටුකරන තැනට පාලකයන් යොමුකරනවා වෙනුවට එවැනි යෝජනා ගොන්පාර්ට් කරගන්නා ගොට්ටන් සිටින රටක් කවදා දියුණුවට පත්වේද යන්නත් හීනයකි.