සජිත් අවොත් - ගෝඨාට අමාරුයි - ඒ නිසා කරූ දාමු?

සජිත් අවොත් - ගෝඨාට අමාරුයි - ඒ නිසා කරූ දාමු?

දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම්කර මාසයක් ගතවෙන්නට ඔන්න මෙන්නය. දැන් ගෝඨාභයගේ සෝඩා බෝතලයේ සැර බාලවී ඇති අතර ඇල්වතුර සහ සෝඩා අතර වෙනස සොයාගන්නටත් මහන්සි වෙන්නට සිදුව ඇත. එසේම ජ.වි.පෙ අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස රටපුරා පෝස්ටර් අලවා අන්තිමේදී ඉදිරිපත්කළේ අනුර කුමාරය. ඒ නිසා ඒක හරියට ෆිල්ම් එක පෙන්නා පස්සේ ට්‍රේලර් එක පෙන්නනවා වගේ වැඩකි. ඒත් එ.ජා.ප යේ අපේක්ෂකයා තවමත් නැත, ඒ කුතුහලය නිසාම දිනෙන් දින ගෝඨාභයගේ මුහුණ වියලීමත්, අනුර කුමාරගේ සද්දය වැඩිවීමත් වෙමින් ඇත.

ගමේ මතය

කවුරුන් කෙසේ කීවත් ගම් මට්ටමේ මිනිස්සු තවමත් ගෝඨාභය සමග එක්වී නැත. මහින්ද රාජපක්ෂට කැමති පිරිසෙන් බහුතරයක් ගෝඨාභයට සෙට් වෙයි කියා සිතුවද ඇත්තටම ගම්මට්ටමේ මිනිසුන් පවා ගෝඨාගේ අපකීර්තිමත් පාලන ඉතිහාසයට බියවීම සර්ව සාධාරණය. මේ ආණ්ඩුව ලසන්තලාගේ, එක්නැලිගොඩලාගේ, තාජුඩීන්ලාගේ පමණක් නොව තවමත් හේතුවක් නොදන්නා ඝාතන ගණනාවක් සහ පහරදීම්, පැහැරගැනීම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගෝඨාභයට හෝ රාජපක්ෂ පාලනයේ එවකට වගකිවයුත්තන්ට නිසි දඬුවම් නොදී පැහැර හැරිය බව සහතිකය. එයට සිරිසේන ජනාධීපතිවරයාත්, රනිල් වික්‍රමසිංහත් එකසේ වගකිව යුතුය. එහෙත් හිතවතුණි, සිහපත් කරගත යුත්තේ දී කිරට බළල්ලුත් සාක්ෂි බව පමණකි.

ඒත් ගම් මට්ටමින් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් තිබෙන්නේ වෙනස් ආකල්පයකි. සජිත් මහ ලොකු වැඩකාරයෙක් නොවුනද හීන් නූලෙන් ගොඩදමා ලෝකෙට අඬබෙර ගැසූ ‘ගම්උදා’ සහ ‘සසුනට අරුණ’ වැඩ දෙකෙන් ගම්වල මිනිස්සුන්ගේ ඔළුවට සහ හාමුදුරුවන්ගේ ඔළුවට ‘වැඩක් කළහැකි මිනිහෙක්’ කියන අදහස කාන්දු කරන්නට හැකියාවක් ලැබුණි. එය එක් පැත්තකින් ගම්මට්ටමේ එ.ජා.ප පාක්ෂිකයාට කික් එකක් සේම ගෝඨා විරෝධී මැදිහත් පාර්ශවයන්ට හිතන්නට යමක් ඉතිරිකළ සාධකයකි.

රාජපක්ෂ පාලනයක්?

ලංකාවේ පාවෙන ඡන්ද නැමති කොටස ජාතික ආරක්ෂාව නොව ඊටත් වඩා බරපතල කාරණයක් පිළිබඳ සලකා බැලුවත් ආයෙත් රාජපක්ෂ පවුල් පාලනයක් එනවාට කැමති නැත. ගෝඨා ජනාධිපති වෙද්දී අනිත් තනතුරු ටික බෙදී යන විදිහ ගැන අමුතුවෙන් කිව යුතු නැත, නාමල්ලාගේ අර බලකා, මේ බලකා, කාර් රේස්, බීච් පාර්ටි වලින් ලංකාවේ මිනිස්සු හොඳ හොඳ පාඩම් ඉගනගත් නිසා ඒ ඉතිහාසයම ගෝඨාභයට අද පාරාවලල්ලක් වෙමින් ඇත. ඒ නිසාම ගෝඨාට සුදු හුණු ගාන්නට සහ රාජපක්ෂ පවුලේ වැරදි සුදු රෙදි කඩකින් වසා කුරහන් සාටකය ඔතා ගැටේ දාන්නට මහින්ද රාජපක්ෂ පමණක් නොව මහින්දවාදී  නඩයම ගමක් ගමක් ගානේ ඇවිද්දත් ප්‍රතිඵලයක් නැත.

එ.ජා.ප යෙන් සජිත් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කළහොත් දැනටමත් රැස් බැස ඇති ගෝඨාභයට බරපතල අභියෝගයක් බව මහින්ද සහ පොහොට්ටුවාදීන් නොදන්නවා නොවේය. එසේම රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, සාගල රත්නායක වැනි ගජ මිතුරු කල්ලියද මේවා නොදන්නවා නොවේය. ඒ නිසාම සජිත් වෙනුවට කරූ යෝජනා කර කරළියට ගෙනෙන්නට උත්සහ කරන්නේ ඇයි ද කියන තර්කය ඉතා සරලය.

පැරදීමත් සැපකි

එ.ජා.ප ඇතුලේ කල්ලි දෙකක් ඇත, එකක් එ.ජා.ප ය දිනවිය යුතු අය සහ අනෙක් අය එ.ජා.පය පැරදවිය යුතු අයයි. පොදුජන පෙරමුණේද කල්ලි දෙකක් ඇත. එකක් ගෝඨා දිනවිය යුතුයි සිතන අය සහ ගෝඨා පරාජය විය යුතුයි යනුවෙන් සිතන අයය, පොහොට්ටුවේ ගෝඨාගේ පරාජය බලාපොරොත්තුවෙන් සිටන අය හුදෙක්ම ගෝඨා නිසා පසුගිය ආණ්ඩුව කාලයේ දැඩිලෙස හිරිහැරයන්ට ලක්වූ ඒත් පොහොට්ටුව නිසා අද දෙපයින් සිටගෙන සිටින දේශපාලඥයින්ය. ඔවුන් පොහොට්ටුව අතහරින්නටත් බැරිය, ගෝඨාට කඩේ යන්නටත් බැරිය. ඒ නිසා ඔවුන් කොතරම් ජනතාව ඉදිරියේ ගෝඨා ගෝඨා යනුවෙන් කෙඳිරි ගෑවද හිත යටින් කියන්නේ ‘අනේ ඕකා පැරදියන්’ කියාය. අන්න එකී පිරිස සජිත් යූ.එන්.පි යෙන් එනවාට කැමතිය.

එ.ජා.ප යේ පෙරකී කල්ලි දෙක අතර එ.ජා.ප ය පැරදී හෝ විපක්ෂ නායක තනතුරත්, ආණ්ඩුවේ විපක්ෂයත් පමණක් හෝ ඉතිරිවූවාට කමක් නැත ඒත් සජිත්ට ජනාධිපතිකම හෝ පක්ෂ නායක කම හිමිවෙනවාට විරුද්ධ රනිල් වික්‍රමසිංහ හිතවාදී සහ රනිල්ගෙන් තොර ලොවක් නැතැයි සිතන පිරිස පමණි. ඒ අතරම තවත් පිරිසක් වන්නේ වත්මන් එ.ජා.ප රජය තුල සිට ජනාධිපති අපේක්ෂක තනතුරට ඉව අල්ලන පාඨලී, රාජිත, අර්ජුන, කරූ වැනි උදවියයි. රනිල් ඉල්ලුවොත් එ.ජා.ප ය පටන්ගන්නේම සෘණ ගාණකින් බව දන්න නිසා පෙරකී පිරිසගේ උත්සහය සජිත් හලා කරූ පත්කිරීමය. ඒ ගේම පරදින්නට මිස දිනන්නට නොව, එක් පැත්තකින් ගෝඨා දිනවා යූ.එන්.පී ය පැරදුනත් සජිත් ට තනතුරු නොදිය යුතුයි යන මතය නිසාය. ගමේ ගොඩේ කියන්නාක් මෙන් ‘කපලා ගඟේ දැම්මත් කෙල්ල තොට දෙන්නේ නෑ’ කියන ප්‍රතිපත්තිය බව පැහැදිලිය.

ඒ නිසා පෙරකී කුමන්ත්‍රණකාරී කණ්ඩායම්වල වුවමනාව ගෝඨාභයට අභියෝගයක් කර පරාජය කරදැමීමට හැකියාව ඇති සජිත් ප්‍රේමදාස වෙනුවට ගෝඨාට ගේමක් නැති කරූ ජයසූරිය අපේක්ෂකයා කරන්නටය. පැහැදිලිවම එය ගේම් එක පාවාදීමක් බව පහදන්නට අමුතුවෙන් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත. එසේ වුවහොත් එ.ජා.ප ය පමණක් නොව ලංකාවම ඇණගන්නේ හොම්බෙන් නොව පශ්චාත්භාගයෙන්ම යන්නටම බව සහතිකය.

More Articles