2005 මහින්දගේ දැක්ම ‘මහින්ද චින්තනය’, 2019 ගෝඨාභයට ‘චින්තනයක්’ නැත්තේ ඇයි?

2005 මහින්දගේ දැක්ම ‘මහින්ද චින්තනය’, 2019 ගෝඨාභයට ‘චින්තනයක්’ නැත්තේ ඇයි?

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරය දිනාගන්නට එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා සමග මෙන්ම අනුර බණ්ඩාරණායක සමග සිටි චන්ද්‍රිකාට අතිශයින්ම හිතවත් පිරිස සමග අරගල කරන්නට සිදුවිය. එසේ අරගල කර මහින්දට අපේක්ෂකත්වය ගන්නට සිදුවූයේ බලහත්කාරයෙන්ය. ඒ මහින්දගේ හොඳම කාලයයි, බඹරය වැල්ලේත් කැරකෙන කාලයයි. රිදී බන්දේසියේ තබා තමන්ට නොපිලිගැන්වූ, එහෙත් බලහත්කාරයෙන් මෙන් ලබාගත් අපේක්ෂක පදවිය ජයග්‍රහණය දක්වා ගෙනයන්නට මහින්දට උපක්‍රමශීලී මාර්ගයක් තිබුණි.

එපමණක්ද නොව මහින්දට එදා තමන්ගේ කියා දැක්මක් තිබුණි. ‘මහින්ද චින්තනය’ ලෙස අධිපුද්ගලානුබද්ධ ක්‍රමවේදයකට ඉදිරිපත් කළද චන්ද්‍රිකාගේ ‘රට පෙරට’ දැක්මට වඩා හොඳ වැඩසටහනක් ඒ තුල තිබුණ නිසා මහින්දට ගමනක් තිබෙන බව යූ.ඇන්.පී කාරයන්ට පවා පෙනෙන්නට තිබුණි. ඒ නිසාම රනිල්ටද අපේක්ෂකයා ලෙස සෑහෙන්න වෙහෙස වන්නට සිදුවිය. අවසානයේදී සටන ගල උඩ සටනක් වී දෙදෙනා කරට කර හැප්පෙද්දී මහින්දට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් උදව් ගන්නට බැසිල්ලා මැදිහත් කරගන්නට සිදුවිය. ඒ නිසා දිනුම මහින්දට ලැබුණි, මහින්ද දිනුවත්, පැරදුනත් අහිමිවන්නට දෙයක් නැති නිසා ‘ගමනක්’ යන්නට සැලසුමක් ඔහු සතුවිය.

මහින්දගේ 2005 ‘මහින්ද චින්තනය’ වගේම 2010 ‘මහින්ද චින්තන - ඉදිරි දැක්ම’ ජනතාව අතරට ගිය පුළුල් සහ ජනතාවට අවබෝධයක් තිබුණු ජනතාව අතර නිතර කියවුණු නමක් සහ වැඩපිළිවෙලක් විය. 2015 මෛත්‍රීගේ දැක්ම ‘මෛත්‍රී පාලනයක්’ ලෙසින් ජනතාව අතර ප්‍රචලිත විය. මේවා ඔබට හුරුපුරුදු නම් බව සහතිකය, ඕනෑම පක්ෂයකට ඡන්දය දුන්, මතදැරූ කෙනෙක්ට වුවත් මේ නම් සහ වැඩපිළිවෙල හොඳින් මතකය.

එසේනම් 2019 ගෝඨාභයගේ දැක්ම කුමක්ද? ගෝඨාභයගේ වැඩ පිළිවෙල කුමක්ද? ඒ වචනය හෝ නම ඔබට හුරුද? සරලවම කිවහොත් පිළිතුර නම් ‘නැත’ යන්නය. සජිත්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කර ඇත, එහි තේමා පාඨය ‘එක්ව ඉදිරියට’ යන්නයි. සජිත්ගේ මැතිවරණ තේමා ගීතයේත්, ප්‍රතිපත්ති ප්‍රකාශනයේත්, මැතිවරණ වේදිකාවේත් ඇසෙන්නේ මේ නමය. එහෙත් ගෝඨාභයගේ වැඩපිළිවෙලක්, නමක්, පමණක් නොව හරි හමන් ඉලක්කයක් වත් ඇති බවක් පෙනෙන්නට නැත, ඒ ඇයි?

සරලවම හේතුව නම් මෙයයි. ගෝඨාභය රාජපක්ෂ යනු ඡන්දය ඉල්ලන්නට සිටි කෙනෙක් නොවේය. 2015 මහින්දගේ පරාජයෙන් පසු මහින්ද මැදමුලනට යන්නටත් පෙර බැසිල් රට පැන්නේ ය. එහෙත් ගෝඨාභය ලංකාවට වී නිහඬවම ඉන්නට තීරණය කරේ නැවතත් රාජපක්ෂලාට බලය නොලැබෙන බව සහතිකවම දැනගෙනය. එසේම තමන් සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන්ම ඇති චෝදනා නිසැකවම ඉදිරියේදී ඉස්මතු වන බවත්, ඒවාට එරෙහිව නීතියේ තුලාව එසවෙන බවත් ගෝඨාභය සහතිකවම දැනගෙන සිටියහ.

එහෙත් නඩු පිට නඩු වැටෙද්දී, රාජපක්ෂ පරපුරේ චිචීගේ සිට ඩේසි ආච්චි දක්වාම විවිධ ප්‍රමාණයේ හොරකම් සහ දූෂණ පමණක් නොව මිනිමැරුම්වලට පවා චෝදනා ලබද්දී බලය නැතිව ජීවිතයේ ඉතිරි කොටස ගෙවන්නට බැරි බව මහින්ද මෙන්ම ගෝඨාභයත් තේරුම්ගෙන තිබුණි. ඒ නිසා තමන්ට නැවත බලය ලැබුණහොත් නිසැකවම නඩු ටික බේරාගන්නටත්, චෝදනා වලින් ගැලවෙන්නටත්, නාමල් රාජපක්ෂ ඇතුළු ඉදිරි පරපුරට බලය ප්‍රදානය කර රාජමාලිගා තුල රජවරුන් ලෙස මියයන්නට අවශ්‍ය පසුබිම සකසාගන්නට මහින්දට වගේම ගෝඨාභයටත් අවශ්‍ය විය.

ඒ අතරේ මතුවූ 19 වැනි සංශෝධනයෙන් මහින්දට ජනාධිපතිවරණයේ දොර වැසුණු නිසා එය කුරහන් සාටකය බෙල්ලේ දමාගෙන දේශපාලනික සයනයේ කන්‍යාභාවය අහිමිකරගත් පුද්ගලයෙක් නොවන නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට ඉතිරිවුණේ ගෝඨාභය පමණි.එහෙත් ඒ රාජපක්ෂලාට අපරාධ චෝදනා සම්බන්ධයෙන් සත පහක තැකීමක් නැති නිසා ඒ කාරණයද පසෙක තබාය. රාජපක්ෂලා නැවත දේශපාලන වේදිකාවේ බෞතීස්ම කරන්නට සිරිසේන ජනාධිපතිවරයා අනූපමේය කාර්යයක් ඉටුකරන ලදි. සිරිසේනගේ නිදහස් පක්ෂ නායක පදවියේ දොලදුක සන්සිඳවන්නට එය ඇපයට තබාගෙන රාජපක්ෂලා නැවත දේශපාලනයට රිංගන ලදි.

ඒ නිසා මෙය 2016-17 කාලයේ සිට සූක්ෂමව මතුවූ රාජපක්ෂ පවුල් ගසේ බලය පිළිබඳ වුවමනාවේ නැගීමක් මිස රටට සෙතක් කිරීමේ වුවමනාවෙන් පැමිණි ගමනක් නොවන බව පැහැදිලිය. යහපාලන ආණ්ඩුව සියයට සියයක් සාර්ථකයි කියා හෝ හොඳයි කියන්නට බැරිය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ එන්නේ යහපාලන ආණ්ඩුවට හදන්නට බැරිවූ රට හදන්නට යයි කියා කියනවානම් දේශපාලන වේදිකාවක කතාවක් කරද්දී ගෝඨාභයගේ ඇස්දෙක දෙස පරික්ෂාකාරීව මොහොතක් බලාසිටිය යුතුය. එහි අභියෝග මැදින් රටට ආදරේ නිසා යන ගමනක ලකුණු තියනවාද යන්න සිතාබැලිය යුතුය. ඒ දෑසේ ඇත්තේ අනපේක්ෂිත බිය සහ පරාජයක් ලැබුවහෝත් දරාගැනීමට පවා අසීරු චේතනාන්විත ගේම් එකක ප්‍රතිබිම්භයකි. ගෝඨාභය ආවේ රට හදන්නට නොවේය, ගෝඨාභය ආවේ තමන් ඇතුළු රාජපක්ෂ පවුලේ සහ හිතවාදී පාර්ශවයන්ගේ නඩු ටික බේරාගන්නටත්, බලය සියතට ගෙන නැතිවූ දේ ලබාගන්නටත් ය.

ඒ නිසා ගෝඨාභයට ‘මහින්ද චින්තන’ වැනි සුන්දර ආකර්ශණීය නම්වලින් යුතු සැලසුම් හෝ වැඩසටහන් අවශ්‍ය නැත. ගෝඨාභයගේ සැඟවුණු දැක්ම Regain the Power හෙවත් යළිත් බලය ලබාගැනීම පමණකි. එයට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නට ඔහු සහ මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම සූදානම් ය. ඒ සඳහා මිලියන 1000 ඉක්මවූ වියදමක් දැනටමත් කර අවසන් ය. ඒ තරම් මුදලක් රාජපක්ෂලා වෙනුවෙන් ආයෝජනය කරන්නේ ඇයි?

මේ සටන හිතූ තරම් ලේසි පහසු සටනක් නොවන බව දැන් මහින්ද මෙන්ම ගෝඨාද දනිති. වෙනදා මෙන් බැසිල් ඇවිත් ටක්කෙටම හරියන දේශපාලන අනාවැකි කියා ගෝඨා මෙන්න මේ ප්‍රතිශතයකින් දිනනවා කියන්නේ නැත. විමල් ඇවිත් බොරු ප්‍රතිශත කියද්දි ඩලස් පුරුදු ලෙසම බොරු සංඛ්‍යා ලේඛන දිගහැරියද සටන ගලඋඩ සටනකි. අඩියක් වැරදුනොත් ගෝඨාභය පමණක් නොව සමස්ත රාජපක්ෂ පරම්පරාවත්, මහින්දවාදී නඩයේත් අවසානයයි. ඒ නිසා ඔවුන්ට මේ මැතිවරණය මාරාන්තික එකකි.

සජිත්ට මේ සටන දිනන්නට ලැබුණොත් එය ඔහුගේ මෙන්ම එ.ජා.පයේත් රටේත් සුගතියට හේතුවන දෙයකි. සජිත් පැරදුනත් නියත වශයෙන්ම ඔහු එ.ජා.ප යේ නායකත්වය අල්ලන්නට කැරලි ගසනු නියතය. ඒ නිසා සජිත්ට ඕනෑතරම් අවස්ථාත්, ඕනෑතරම් වයසත් ඇත. ඒ වගේම සජිත් මේ මැතිවරණයේදී ගෝඨාගේ අරමුණ දැනගෙන එයට සූක්ෂම ලෙස පහරදෙමින් තමන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටියි. ඒ නිසාම කලින් ගෝඨාභයට 70%ක් ලැබෙනවායැයි පම්පෝරි ගැසූ ඔස්තාර්ලා පසුව ඒ ප්‍රතිශතය 60% දක්වාත්, 58% සිට දැන් 52%කට බැහැලාය. ඒත් අද ඇති තත්වයනම් කාටත් හොරරහසේ රාජපක්ෂලා සෙසු අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය සිඟාකන තැනට වැටී ඇත. හිස්බුල්ලාගේ දෙවැනි මනාපයනම් ගෝඨාභයට බව සහතිකය, බැටිකලෝ කැම්පස් එකේ නාමයෙන් එය සහතික විය හැකිය. එහෙත් අනුර හෝ මහේෂ්ගෙන් ගෝඨාභයට ඉඩක් නැත.

කුරහන් සාටකයට පයින් ගැසූ ගෝඨාභයට මහින්දගේ ‘චින්තනය’ වත් නැත, අඩුම තරමේ තමන් ගැන ප්‍රශස්තියක් බොක්කෙන්ම කියන්නට ‘වේරලියද්දලා’ වත් නැත. ගොම්පාට් දාන්නට පිම්පොං ලා සිටියාට ගෝඨාභයට මහින්දගේ කැම්පේන් එකේ තිබුණු බහුතරයක් වන ගමේ මිනිහාට දැනෙන කුරහන් සුවඳ, ගමේ නියරේ සිසිලස, දකුණ හා බැඳුණු ජවය ද නැත. ඒ විතරක් නොවේය කිසිදිනක වාදයක්, ප්‍රශ්නයක් මග නොහරින මහින්දගේ සහජ ගතිය වත් නැත. ඒ නිසා මේ රටේ ජනතාව අවශ්‍යනම් ගෝඨාභයගේ නඩු ටික ඉවරකරගන්නට අධිකරණයට බලපෑම් කරන්නට, විනිසුරුවරුන් බියගන්වන්නට,එළවන්නට ඡන්දය ප්‍රකාශකළ හැකිය, තමන්ට විරුද්ධව ලියන, ඇත්ත කියන පත්තරකාරයන් එළොව යවන්නට, අතපය කඩන්නට උදව් කළ හැකිය. එහෙත් කිසිවිටක රටේ, දැයේ හෝ සමයේ උන්නතිය බලාගෙන කවුරුන් හෝ ගෝඨාබයට කතිරය ගසනවානම්

කතිරය සලකුණු කළ අඩිදෙකේ පත්‍රිකාව කාඩිබෝඩ් ඡන්ද පෙට්ටියට දමනවා වෙනුවට හීනියට රෝල් කර තමන්ට රිසි දෙයක් කරගත්තාට අපේ අබමල් රේණුවක තරහක් නැත..

More Articles