පවුමක් 90,000 යි - කොරෝනා නිසා රන්කරුවෝ කබලෙන් ලිපට!

පවුමක් 90,000 යි - කොරෝනා නිසා රන්කරුවෝ කබලෙන් ලිපට!

කොරෝනා වසංගතය නිසා ලෝකයේ ආර්ථිකය ඇත්තේ අවදානම් අඩියකය. එවැනි තත්වයකදී බොහෝ කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් ගොඩගැනීමට ඇතැම් රටවල් දැනටමත් උපක්‍රමික සැලසුම් සකස් කරමින් සිටී. ලංකාවේ රජයද සංචාරක කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක් යථාතත්වයට පත්කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටියි. එවැනි පසුබිම මෙරට රන්කරුවන් හෙවත් ස්වර්ණාභරණ ශිල්පීන්ට අත්ව ඇත්තේ ඉතා ඛේදජනක ඉරණමකි.

මාස තුනක් අනාථයි

මෙරට කොරෝනා රෝග ව්‍යාප්තිය සිදුවීම වර්ධනය වන්නේ මාර්තු මස දෙවැනි සතියේදීය. එතැන් පටන් මේ දක්වා මාස තුනකට ආසන්න කාලයක් පුරා මෙරට සුළු හා මධ්‍ය පරිමාණයෙන් ස්වර්ණාභරණ නිර්මාණය කරමින් තම අඹුදරුවන් රකින්නාවූ අපේ රටේම දස දහස් සංඛ්‍යාත පිරිසකට සහ ලක්ෂ සංඛ්‍යාත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එදා වේල පිරිමසාගන්නට බැරි තත්වයකට පත්වීම ඉතා කණගාටුදායකය.

ලංකාව පුරාම විසිරී සිටින ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලිකව ලැබෙන ඇණවුම් සියල්ල පසුගිය මාස තුන පුරාම නතරවී ඇත. වසංගත තත්වයන් නිසා රන් භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ ද නැත. විශාල ප්‍රමාණයේ ස්වර්ණාභරණ සාප්පුද වසා තිබීම නිසා ඒවායින් ඇණවුම් ලැබීම පමණක් නොව, වැඩ අවසන් කර බාරදුන් ඇණවුම් වලට අදාල රත්තරන් කොටස ලබාගන්නට බැරිවීම නිසා රන්කරුවන් සිටින්නේ ඉතා අපහසු අඩියකය.

විශාල පිරිසක් රැකියාවලින් ඉවතට

මේ වනවිටත් බොහෝ ස්වර්ණාභරණ අලෙවිකරන සමාගම් සහ ආයතන නැවත විවෘතකර තිබුණද ඔවුන්ට ඇති ආර්ථික ලාභ කොටස සහ පිරිවැය සලකා බලා රන්කරුවන් විශාල පිරිසකගේ සේවය ලබාගැනීම නැවත දැනුම්දෙන තුරු නතර කර ඇත. එසේම එම ආයතනවල රන් භාණ්ඩ නිපදවමින් වැටුප් ලැබූ පිරිසෙන් සැලකිය යුතු කොටසකට රැකියාවලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබීම බරපතල තත්වයකි.

එසේම විදේශගතව රන් භාණ්ඩ නිපදවීමේ නිරත පුද්ගලයන්ටද රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙන නිසා ඔවුන්ද නැවත ලංකාවට පැමිණියහොත් විරැකියා අර්බුදය තවත් ඉහළ යනු ඇත. එවැනි පසුබිමක් යටතේ රන් ඉල්ලුම සහ ඇතැම් සමාගම් සිතාමතාම සිදුකර ඇති වෙළඳපොල බිඳවැටීම් හමුවේ ලංකාව තුල කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 90,000 දක්වා ඉහළ ගොස් ඇත. එය 2018 අග භාගය වන විට පැවතියේ රුපියල් 53,000 ට වන අතර, කොරෝනා වසංගතයට පෙර පෙබරවාරි මස පවුමක අගය රුපියල් 73,000 පමණ විය.

ලොක්කන් රැකෙයි - පොඩ්ඩන් වැනසෙයි

ලංකාවේ ස්වර්ණාභරණ වෙළඳපොල පවතින්නේ ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක් අතරේය. එයින් ප්‍රධානම ආයතන දෙකක් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක්ට අයත් අතර, කොළඹ හෙට්ට්වීදිය පදනම් කරගෙන ක්‍රියාත්මකවේ. එම සමාගම්වල කතිපයාධිකාරී වෙළඳපොල කොටස වෙනුවෙන් දැඩි තරඟයක නිරත වෙන අතර සමස්ත වෙළඳපොල යාන්ත්‍රණය පාලනය වන්නේ ඔවුන් මගින්ය.

මෙකී වසංගත තත්වයේ ආර්ථික හානිය මෙකී සමාගම් වලට නොදැනෙන නමුත් එම සම්ගම්වල උප කොන්ත්‍රාත් සහ කුලී පදනම යටතේ වැඩකරන කුඩා පරිමාණ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයන්ට අත්ව ඇත්තේ ඛේදජනක ඉරණමකි. ඇතැම් ස්වර්ණාබරණ නිපදනවන ගෘහකර්මාන්ත වසා දමන තැනට පත්ව ඇත. අවාසනාවකට කරුණ නම් මේ තාක් කිසිඳු රජයක් මෙකී නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්වී නැත.

සාම්ප්‍රදායික ශිල්පයක අවසානය

2015 ට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේදී ඔහුගේ ගම්පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ පාරම්පරික ස්වර්ණාභරණ නිර්මාණශිල්පීන් පිරිසක් ඔවුන්ට ඇති ගැටළු ලිපියකින් ඉදිරිපත් කර ඇති අවස්ථාවේ ඔහු පවසු තිබුණේ ‘රත්තරන් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයිනේ..ඊට වඩා බලන්නට කොච්චර ප්‍රශ්න තියනවද” යනුවෙන්ය. එයට පිළිතුරු 2015දී මහින්දට ලැබෙන්නට ඇත.

යහපාලන ආණ්ඩුවෙන්ද මෙකී ශිල්පීන්ට අබ ඇටයක හෝ සහනයක් නොලැබුණු බවනම් සහතිකය. ඒ නිසා පහුගිය ජනාධතිවරණ සමයේ ස්වර්ණාභරණ ශිල්පීන් ඒකරාශි කොට ඔවුන්ගේ තොරතුරුද ලබාගත් වත්මන් ජනාධිපති ගේඨාභය රාජපක්ෂ පොරොන්දුවක් ලබාදී තිබුණේ එකී ශිල්පීන්ගේ ගැටළු වශයෙන් හඳුනාගෙන ඇති වෘත්තීය ආරක්ෂණ ක්‍රමවේදයක්, ආම්පන්න සහන මිලට ලබාදීම, ව්‍යාපාර අවස්ථා වර්ධනයට සහය වීම තමන් ජනාධිපතිවූ විගස ඉටුකරන බවය. එහෙත් කොරෝනා නිසා කබලෙන් ලිපට වැටුණු රන්කරුවන්ගේ ගින්න වැඩ කරන විරුවාට නොපෙනීම හෝ නොදැක්කා සේ සිටීම අභාග්‍යයකි.

ඉරණම

‘දැනටමත් දුවන්නේ හරි අමාරුවෙන්.. මාස තුනක් තිස්සේ කිසිම වැඩක් නෑ.. තව මාසයක් මෙහෙම ගියොත් අපිට වෙන්නේ පොටයිස් ටිකක් කාලා..දරුවන්ටත් ඒවාම පොවලා මැරිලා යන්න විතරයි..වැඩ කුලියක් ලැබෙන්නෙත් නෑ..අපි බොහොම මහන්සියෙන් කිසිම ආණ්ඩුවකට, කිසිම ගමකට බරක් නැතිව ජීවත්වෙච්ච මිනිස්සු..අපේ කර්මාන්තෙට පහුගිය අවුරුදු 20 ඇතුලෙම සිද්ධවුණේ නස්පැත්ති විතරමයි..කොරෝනා නිසා අපි තවත් හිර වුණා’

මාතර-බෙළිදෙණියෙන් මෙන්ම බෙලිඅත්ත-අඟුල්මඩුවෙන්ද ඇසෙන්නේ එකම කතාවකි. එකම ඉරණමකි. එදා රජ දරුවන්ගේ හිසේ කිරුළේ හැඩය සහ මෝස්තරය පවා තීරණය කරන, රජුන්ටත් පෙර කිරුළ හිස දරන, දළදා මැදුරේ පත්තිරිප්පුව,මගුල්මඩුව, ඇම්බැක්කේ වැනි නිර්මාණවලින් දස්කම් පෙන්වූ විස්කම් පරපුරකට අද අත්ව ඇත්තේ ඉතා කණගාටුදායක ඉරණමකි.

ඔවුන් දරු පැටවුන් සමග වස විස බොන්නට පෙරාතුව ඔවුන්ද මේ රටේ මිනිසුන් ලෙස සලකා නැගිටින්නට උදව් උපකාර කිරීමට රජයකට බැගෑපත්විය යුතු නැත. එය රටක රජයක වගකීමකි, එසේ වගකීම් පැහැර හරින ආණ්ඩුවලට රටවල් හදන්නට බැරි බවත් හැදෙන්නේ නායකයන් පමණක් බවත් අතීතය පුරාම අප ඉගනගෙන ඇත. ඒ අතීතය නැවත ප්‍රතිනිර්මානය නොකර රන්කරුවන්ගේ ගින්දරට සහනයක් වීමට වහාම මැදිහත්වීම හැමදෙනෙක්ගේම හෘදසාක්ෂියට වඩාත් හොඳය.