පවුමක් 73,000 යි - රන්කරුවෝ අනාතයි...

පවුමක් 73,000 යි - රන්කරුවෝ අනාතයි...

ලෝක වෙළඳපොළ තුල මෙන්ම දේශීය වෙළඳපොල තුලද රන් මිල පසුගිය සමයේ ඉතා වේගයෙන් ඉහළ යෑම සිදුවී අතර, අද වනවිට එම මිල දේශීය වෙළඳපොළ තුල කැරට් 24 රන් පවුමක් රුපියල් 73,000 දක්වා ඉහළ ගොස් ඇත. එය ඉතිහාසයේ රන් පවුමක් වාර්තා කළ ඉහළම අගය වන අතර එය රන් ආකර හිමියන්ගේ සහ රන් ව්‍යාපාර ලෝකයේ මැදිහත් ව්‍යාපාරිකයන්ගේ සුගතියට හේතුවක් වුවද දේශීය රන්කරුවන්ගේ බඩවියතට හෙනහුරා පාත්වන සිදුවීමක් බවට පත්ව ඇත.

විශේෂයෙන්ම මෙරට වැඩි වශයෙන් පැතිර සිටින සුළු මහා මධ්‍ය පරිමාණ රන් කාර්මිකයන්ට මෙම රන් මිළ ඉහළ යාමෙන් අත්ව ඇති ඉරණම ඉතා ඛේදජනකය. රන් මිල ඉහළයාම සමග රන් භාණ්ඩ මිළද ක්ෂණිකව ඉහළ නගින අතර මිළ ඉහළයාමට ඉතා වේගයෙන් ප්‍රතිචාර දක්වන රන් භාණ්ඩ ඉල්ලුම ඒ සමගම පහළ යාම සාමාන්‍ය සිදුවීමකි. ඒ නිසා සිදුවන්නේ රන් මිළ නැවත පහළ යාවි යන බලාපොරොත්තුවෙන් රන් භාණ්ඩ ඇණවුම් කරන්නන් මිළට ගැනීම පමා කිරීමය. ඒ නිසා ඉල්ලුම පහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ අලෙවිකරුවන්ට ඇණවුම් ලැබීම පහළ යයි, එහි සෘජු බලපෑම් රන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්ට මරු පහරක් ලෙසින් පැමිණේ.

බොහෝ රන් කාර්මිකයන් සිය ව්‍යාපාරය කරගෙන යන්නේ එක්කෝ තනිවමය, නැත්නම් තවත් කිහිප දෙනෙක් යොදවාගෙන නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය මත පදනම්ව කුලී ගෙවීමෙන්ය. කුලී ගෙවන්නට ඇණවුම් ලැබිය යුතුය, ඇණවුම් ලැබෙන්නට වෙළඳපොළ ඉල්ලුම තිබිය යුතුය. ඒ නිසා රන් මිළ ඉහළ යාම මහා පරිමාණ රන් ව්‍යාපාරිකයාටත් වඩා දැනෙන්නේ රන් කාර්මිකයාට ය.

තවද රන් කාර්මිකයන්ට සෘජුවම ලැබෙන ඇණවුම් වලට වඩා රන් භාණ්ඩ අලෙවිසැල් වලින් ලැබෙන ඇණවුම් ප්‍රමාණය ඉහළය. එවැනි ඇණුවුම් ලැබෙන්නේ අදාල ඇණවුම් වලට අදාල රන් භාණ්ඩවල බරට සමාන රත්තරන්ද සමගය, නැත්නම් රන් කාර්මිකයා විසින් තමන් සතුව පවතින රත්තරන් ඒ සඳහා යොදාගත යුතුය. එවිට රන් භාණ්ඩ ඇණවුම් නිමකර රන් භාණ්ඩ අලෙවිසැල් හිමියා වෙත ලබාදුන් විට වැඩ කුලිය මෙන්ම අදාල රන් ප්‍රමාණයද ලැබෙනු ඇත. නමුත් පවතින රන් මිල ඉහළ යාමට සාපේක්ෂව රන් කාර්මිකයන්ට තමන් ඇණවුම් සඳහා යොදාගත් තමන් සතුව පැවති රත්තරන් ප්‍රමාණය වැඩ අවසන්කිරීමෙන් පසු රන් අලෙවිසැල් හිමියන්ගෙන් ලබාගැනීම අසීරුවී තිබේ.

‘පහුගිය කාලේ රත්තරන් මිල තිබුණේ 58,000 – 63,000 අතරේ, ලොකු වෙනස්වීම් වුනේ නෑ..ඒ නිසා වැඩ කුලී එක්ක රත්තරන් ආයෙත් ගන්න අමාරුවක් වුනේ නෑ..ඒත් අපිට ඕඩර් එක ලැබෙනකොට රත්තරන් 63,000ට තිබුණට දැන් 73,000 එතකොට ඒ මිලට අලුතෙන් රත්තරන් අරගෙන අපිට දෙන්න ව්‍යාපාරිකයෝ කැමති නෑ’

රන් කර්මාන්තය තුල ඇත්තේ ද එයටම අනන්‍ය වූ කාර්මික උප සංස්කෘතියකි. ඒ නිසා ඒ තුල ජීවත්වන්නන්ට රන් මිල සමග තදබල බැඳීමක් ඇත. ඒ නිසා දිගින්දිගටම ඉහළ යන රන් මිල ඔවුන්ට සිදුකර ඇති හානිය බරපතලය. බොහෝ දෙනෙක් රන් කර්මාන්තයෙන් ඉවත්ව එක්කෝ කුලී වැඩ නැත්නම්, කම්මල් වැඩ කරන තැනට පත්ව ඇත. තවත් සමහර ස්වාධීනව නැගී සිටි රන් කාර්මික ව්‍යවසායකයින් දේශපාලන බලවතුන් පස්සේ රැකියා සොයාගෙන යන තැනට පත්ව ඇත.

ලෝක වෙළඳපොලේ රන් මිල පවතින්නේ රන් කිලෝ එකක් ඩොලර් 48,000 කට ( රුපියල් 8,160,000) සාමාන්‍යයෙන් රන් පවුමක් (ග්‍රෑම් 8ක්) ලෝක වෙළඳපොළ තුල රුපියල් 65,000 ඉක්මවා ඇත. රන් මිල පාලනයට දේශීය යාන්ත්‍රණය තුල කළ හැකි බලපෑම ඉතා අවමය. ඒ නිසා රජයක් ලෙස මෙතෙක් රන් කරුවන් වෙනුවෙන් කිසිඳු පසුගිය ආණ්ඩුවක් දැනෙන වෙනසක් සිදුකර නැත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ රන් කාර්මිකයන් ආරක්ෂා කරගැනීමට විධිමත් ආර්ථික හෝ සමාජයීය වැඩපිළිවෙලක් නැත.

ඒ නිසා මේ රජය හෝ රන් කරුවන් දෙස විධිමත් කෝණයකින් බලා ඔවුන්ගේ ගැටළුවලට සාධාරණ සහ තිරසාර විසඳුමක් නොදුනහොත් ඔවුන් ආර්ථික වශයෙන් කඩාවැටී මේ ආර්ථිකය තුල ඔවුන් සරණාගතයින් බවට පත්කරන්නක් විය හැකිය, ඔවුන්ද රැකියා වියුක්තිකයන්ගේ ගොඩට ඇද දමන්නක් විය හැකිය. ඒ නිසා ස්වෝත්සාහයෙන් වෘත්තීය කරගෙන යන රන් කාර්මිකයන්ගේ අනාගතය වෙනුවෙන් රජය ප්‍රතිපත්තිමය සහ සාධාරණ තීන්දු තීරණ ගතයුතු තැනට දැන් පත්ව ඇත.

More News