රාජපක්ෂ පාලන සමයේ අගතියටපත් මාධ්‍යවේදීන්ගේ ඉරණම..?

රාජපක්ෂ පාලන සමයේ අගතියටපත් මාධ්‍යවේදීන්ගේ ඉරණම..?

මහින්ද රාජපක්ෂ පාලනය (2005-2015) ලංකාවේ මාධ්‍යවේදීන්ට අඳුරු යුගයක් යන්න ප්‍රලාපයක් නොවේය. ඒ තරමටම මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැරගැනීම්, පහරදී අතපය කඩාදැමීම්, බියගැන්වීම් සහ සාවද්‍ය චෝදනා යටතේ සිරගත කිරීම් සිදුවූ වෙනත් යුගයක් අදටත්     නැත. තිස් වසරක යුද්ධයේදී හෝ තරණ කැරළි දෙකක් අතරේ සිදු නොවූ තරම් බරපතල හානි මෙරට මාධ්‍යවේදීන් විශාල පිරිසකට රාජපක්ෂ පාලන සමයේ සිදුවිය.

වත්මන් යහපාලන ආණ්ඩුව ගොඩනැගෙන්නට මේ මාධ්‍යවේදීන්ට සිදුකල අසාධාරණයන් ද ප්‍රධාන හේතුවක් විය. මාධ්‍ය මර්දනය නිසාවෙන් ජීවිත අහිමිවූ,අතපය අහිමිවූ මෙන්ම මරණ බියෙන් ජීවත්වූ මාධ්‍ය පරපුරේ බොහෝ දෙනෙක් රාජපක්ෂ පාලනය බිඳහෙලන්නට ඇප කැපවී ක්‍රියාකරනු ලැබීය. නමුත් එකී මාධ්‍යවේදීන්ට අද අත්ව ඇති ඉරණම ගැන කතාකිරීමට කිසිවෙකුත් නැති තරම්ය. ඒ නිසා මෙරට පාලකයන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් පමණක් නොව මාධ්‍යවේදීන්ගේ පවා නිබඳ ගැරහුමට සහ පෑගීමට ලක්වන බෙව් මාධ්‍යවේදීන් ලෙස එකී ඉරණම ගැන කතා කිරීමට සිතුවෙමු.

2015න් පස්සේ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්වීම සහ එ.ජා.ප ය සමග එක්ව නිර්මාණය කරගත් යහපාලන රජය එක්පැත්තකින් මරබියෙන් තැතිගත් අගතියටපත් මාධ්‍යවේදීන්ට පමණක් නොව එකී පාලනයට වන්දිබට්ටකම් නොකළ සෑම මාධ්‍යවේදියෙක්ටම අස්වැසිල්ලක් විය. එකී අස්වැසිල්ල තුල නොපෙනුන අවිනිශ්චිතතාවයක් පැවතිනි. බොහොමයක් මාධ්‍ය ආයතන වැසීයන්නට විය, බොහොමයක් මාධ්‍යවේදීන්ට රස්සා නැතිවන්නට විය. හිතට නිදහස දැනුනද බඩට දැනෙමින් තිබුණු වේදනාව කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට විය.

ඇතැම් මාධ්‍යවේදීන්ට රාජ්‍ය ආයතනවල විවිධ තනතුරු හිමිවිය. එහෙත් ස්වාධීනව කටයුතුකල රාජ්‍ය ආයතනවල යාන්ත්‍රණයට යටවෙන්නට අකමැතිවූ මාධ්‍යවේදීන්ට හව්හරණක් නැතිවන තැනට කටයුතු සිදුවෙමින් පැවතිනි. රාජපක්ෂ පාලන සමයේ ජීවිත අනතුරු තිබූ මෙන්ම නොතිබුණු මාධ්‍යවේදීන්ද බොරු කරුණු ඉදිරිපත් කරමින් විදේශ රටවල සරණ සොයා ගියද මාතෘභුමිය හැරදමා යා නොහැකිව ලංකාව තුල අසරණව කල්ගත කරති.

වැසීගිය මාධ්‍ය ආයතන

රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය ආයතන ගිනිතැබීම්, මාධ්‍යවේදීන්ට හිරිහැරකිරිම් පමණක් නොව මාධ්‍ය ආයතනවල පැවැත්මද නතරවෙන තැනට කටයුතු සිදුකරන ලදි. මාධ්‍ය ආයතන වෙත ලැබෙන දැන්වීම් කප්පාදුව, විවිධ නිර්දය චෝදනා කරමින් මාධ්‍ය ආයතනවෙත ත්‍රස්තවාදී ලේබල් ඇලවීම, මාධ්‍ය ආයතන තහනම් කිරීම හමුවේ මූල්‍ය සහ දේශපාලන ශක්තිය නැති විකල්ප මාධ්‍ය ඇතුලු බොහොමයක් මාධ්‍ය ආයතන විනාශවන තැනට කටයුතු සිදුකරන්නට විය.

එහි දිගුවක් ලෙස 2015 න් පසු ලංකාවේ පිළිගත් මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් වැසී රැකියා ලක්ෂ ගණනක සිටි වෘත්තිකයන්ට යනඑන මං නැතිවිය. රාජපක්ෂ පාලනය සමයේ මයිල් ගසකට හානියක් නොවූ ඇතැම් මාධ්‍යවේදීන් යහපාලනයේ අනුහසින් විවිධ ලොකු ලොකු තනතුරුවල වැජඹෙද්දී, ඉතා දරුණු ලෙස වදහිංසාවට පත්වූ, සිරගතවූ, නිර්දය චෝදනා යටතේ නඩු දැමූ මාධ්‍යවේදීන් විශාල පිරිසක් අද තමන්ගේ දරු පවුල් නඩත්තු කරගත නොහැකිව අසරණව සිටින බව යහපාලන ලොක්කන් දන්නේ නැත, දැනගත්තද දැන් ඔවුන්ට එයින් ප්‍රයෝජනයක්ද නැත.  ඇතැම් මාධ්‍යවේදීන් වඩුමඩුවල කුලියට ලී ඉරති, බිරිඳගේ වැටුපෙන් දරුවන් බලාගෙන ගෙදරටවි සිටිති, කුලිසට පෝස්ටර් ගසති එහෙත් ඔවුන් ඒ තැනට ඇදවැටෙන්නට හේතුවූ රාජපක්ෂ පාලනයේ නින්දිත ප්‍රහාරයන් මෙන්ම යහපාලන ආණ්ඩුවේ නොසලකා හැරීම් ඔවුන්ව දිනපතා රිද්දවමින් ඇති බව සත්‍යයකි.

වන්දි

2017 වසරේ දි යහපාලන රජය විසින් පසුගිය ආණ්ඩු සමයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට සහ අනෙකුත් විවිධාකාරයෙන් අගතියටපත් මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ලේඛන සකස්කර කමිටුවකට ඉදිරිපත්කලද විශ්මයට කරුණ වූයේ එකී ලයිස්තුවේ සැබෑ ලෙසම අගතියටපත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් අන්තර්ගත නොවීමය. එසේම රුපියල් 25000 සිට ලක්ෂය දක්වා වන්දි නියම කර තිබූ මෙම වන්දි ලයිස්තුවේ බරපතල හානි සිදුවූ මාධ්‍යවේදීන්ට පවා සිදුව තිබුණේ බරපතල අසාධාරණයකි.

එමෙන්ම මෙම ලයිස්තුවට ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ වැනි ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් වන්දි සටහන්  කර නොතිබුණි. තවද රාජපක්ෂ පාලන සමයේ දෙණියාය රාජපක්ෂ මාලිගයේ තොරතුරු හෙළිදරව්කරන්නට ගොස් අත්අඩංගුවට පත්ව නොයෙක් වදහිංසා විඳි 'ලංකා' පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනාගේ නම් නොතිබුණි, එසේම අහේතුකව සිරගතකල ලංකා කතුවරයා වූ චන්දන සිරිමල්වත්තගේ නමද නොවීය,  පහරකෑමට ලක්වූ මාධ්‍යවේදී කීත් නොයාර්ගේ නම හෝ නිවසට වෙඩි පිට වෙඩි වැදී ලංකාවෙන් පලායන්නට සිදුවූ මන්දනා ඉස්මයිල්ගේ නමද නොවීය, වෙබ් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරද්දී බොරු චෝදනා එල්ලකරමින් ඉතා අසාධාරණ ලෙස සිරගතකල වෙබ් මාධ්‍යවේදීන් 8 දෙනාගේ නම්ද එහි නොවූ අතර රජයේ ආයතනවල මාධ්‍යවේදීන් 23කගේ නම් පමණක් එහි සටහන්විය.

පෙරකී ලේඛණයට එවකට විදෙස් කටයුතු ඇමති මංගල විරුද්ධවීම මත එම ලේඛනය නිශ්ප්‍රභවූ අතරම පසුව ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මංගල පත්වෙද්දී අගතියට පත් මාධ්‍යවේදීන් බලාපොරොත්තුවකින් සැනසුම් සුසුම් හෙළුවේ සැමදාමත් මාධ්‍යවේදීන් වෙනුවෙන් හඬ අවදිකරන මංගල තමන්ට සාධාරණයක් කරාවි යනුවෙන්ය. නමුත් මංගලද අගතියටපත් මාධ්‍යවේදීන්ගෙන් තොරතුරු පොදි ගණන් එක්කරගත්තද දුන් වන්දියක් ගැන අදටත් සඳහනක් නැත.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ කෙණෙහිලිකම්

අද ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ක්‍රියාකරන්නේ රුවන් විජේවර්ධනය. දැන් අගතියට පත් මාධ්‍යවේදීන් ගැන කිසිඳු සටහනක් නැත, වන්දි පමණක් නොව නිදහස් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත ලබාගන්නට නොයෙකුත් දුෂ්කරතාවයන්ට මෙන්ම හිරිහැරයන්ට ද ලක්වන්නට සිදුව තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීවාදී බැලයන් තවදුරටත් සිදුකරන්නේත් වසර ගණනක් තිස්සේ අගතියටපත් මාධ්‍යවේදීන් තවදුරටත් හිරිහැරයට ලක් කිරීමය. 

එසේම වෙබ් මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත ලබාගන්නට ඔවුන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු වුවද ඒ සඳහා වසරකට රුපියල් 20,000 සිට 30,000 දක්වා මුදලක් ගෙවීමට සිදුව ඇති නිසා තවදුරටත් කබලෙන් ලිපට වැටීම හැරෙන්නට ඔවුන්ද සිදුවූ සහනයක් නැත. 

ජනමාධ්‍ය සංගම්

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංගම් විශාල ගණනක් විවිධ නම්වලින් තිබුණද ඒවායින් අගතියටපත් මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදුවුණු යහපතක් නැත. ඒ බොහොමයක් සංගම් පසුගිය වසර කිහිපයේම කලේ ආණ්ඩුවෙන් ලැබෙන රස්සා කිහිපය හෝ දැන්වීම් මුදල් බෙදාගන්නට එකිනෙකා බලුපොරයකට වැටීම පමණකි. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය වැනි සංගම් අද බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවී යහපාලන වරප්‍රසාදයෙන් සුඛිත මුදිත වුවද අගතියටපත් මාධ්‍යවේදීන් වෙනුවෙන් වචනයක් ලියන්නේ හෝ කියන්නේ නැත. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් ඔවුන්ගේ පිළිතුරුද විශ්ලේෂණාත්මකය නැත්නම් අති සුන්දරය.

හෙට??

පෙරකී වෘත්තීයමය වශයෙන් මාධ්‍යකරණය සිය ජීවිකාව කරගෙන සිටි එහෙත් විවිධාකාරයෙන් හිරිහැරයන්ට ලක්ව අද අකුරක් හෝ ලියාගත නොහැකිව අසරණව සිටින මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ගැන මෙසේ ලියා තබනවා හැරෙන්නට කතාකරන්නට හෝ කෙනෙක් නැතිවීම ඛේදවාචකයකි. නගින්නට ගත් ඉණිමගට පයින් ගසා ඇත, නැත්නම් සිය වෘත්තීය වගකීමකට එහා සමාජ වගකීමක් ඉටුකරන්නට ගොස් අද වඩුමඩුවල ලී ඉරණ මාධ්‍යවේදීන්ගේ කඳුළු කතාවට රනිල්ලාට-මෛත්‍රීලාට-මංගලලාට-විජේවර්ධනලාට උත්තර නැත.

ඡන්ද කිහිපයක්ම අතලඟ එන නිසා මුදල් මිටියක් දෙකක් විසිකර අදාල මාධ්‍යවේදීන්ට අඩියක් ගහන්නට කතාකර නැවත මාධ්‍ය වෛශ්‍යා වෘත්තියක යොදවන තැනට පත්කරන්නට ඇතැම් ලොක්කන් දැනටමත් පිඹුරුපත් සකස් කරමින් සිටින බව දැනගන්නට ලැබේ. දහස් ගණනක් මාධ්‍යවේදීන්ගේ කඳුළු මැදින් තනතුරු වරප්‍රසාද උදෙසා ගේම් ගසන ඩීල්කරුවන්ද අපමණය. ඒ අපමණ අගයේ පිහිටින් ය. 

සැබෑ ලෙසින්ම රාජපක්ෂ පාලන සමයේ මෙන්ම යහපාලන සමයේදී පෙරකී මාධ්‍යවේදීන්ට සිදුවූයේ හිරිහැරයන්ට ලක්වීමටය. ඒ දෙයාකාරයකට විය හැකිය එහෙත් සිදුවූයේ ද, සිදුවන්නට යන්නේ ද එකම ඉරණමට මුහුණදෙන්නට සිදුවීමය.

(කවීෂ්වර)

More Articles