රට කබලෙන් ලිපට වැටීම - වික්ටර් අයිවන්

රට කබලෙන් ලිපට වැටීම - වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙනුයේ අවුරුදු හැත්තෑ දෙකක තරම් කාලයක් තිස්සේ අදියර ගණනාවක් ඔස්සේ මහා ආගාධයක් කරා යන ගමනේ අවසානය ලෙස සැලකිය හැකි පතුළටම ඇද වැටුණු තත්ත්වයකට පත්වය. 1948 සිට 1956 දක්වාද, 1956 සිට 1978 දක්වාද, 1978 සිට 2009 දක්වාද, 2009 සිට 2020 දක්වාද යනාදී වශයෙන් වන කාලවකවානු එම ගමන් මගේ ප්‍රධාන අදියර ලෙස සැලකිය හැකිය. හැම අදියරයකම අර්බුදයේ පරිමාව පෙර අදියරයට වඩා විශාලවීම එම ගමන් මගට ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකිය.

එම ගමනේ පෙනෙන්නට තිබුණු තවත් ලක්ෂණයක් වනුයේ ලංකාව නමැති යානය ගමන් ගනිමින් තිබෙන්නේ මහා අගාධයකට බව මාරුවෙන් මාරුවට යානය පැදවූ නියමුවන් සේ ම යානයේ ගමන් ගත් මගීන්ද නොදැන සිටීමය. අගාධයේ කෙළවරටම පැමිණි අවස්ථාව ලෙස සැලකිය හැක්කේ පසුගිය ජනධිපතිවරණයේදී ඊට තරග කළ අපේක්ෂකයින් සේ ම ඡන්දය දුන් ජනතාවද, තමන් දැන් සිටින්නේ ගමනාන්තයට පෙර තිබෙන අවසන් නැවතුම්පොළේ බව නොදැන සිටීමය. ඒ සියලුදෙනා අපේක්ෂා කළේ ස්වර්ග රාජ්‍යකට යන්නටය. එහෙත් අවසානයේ පැමිණ තිබෙන්නේ අපායකටය.

කබලෙන් ළිපට වැටීම

දැන් රටක් වෙනුවට ඉතිරිවී තිබෙනුයේ පිළිසකර කළ නොහැකි සුන්බුන් ගොඩකි. රටේ දේහයේ රාමුව එනම් රටේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය, එකට අමුණා තිබුණ වියමන මුළුමනින් ලිහුණු දෙයක් බවට පත් වී තිබේ. සමාජ-දේශපාලන ක්‍රමය තිබෙන්නේ මුළුමනින් බිඳ වැටුණු තත්ත්වයකය. රාජ්‍යය තිබෙන්නේද දූෂණයෙන් කුණුවී ජරාජීර්ණ වූ රාජ්‍යයේ සේවකයින්ට වැටුප් ගෙවා ගැනීමටවත් බැරි බංකොළොත් තත්ත්වයකය.

වසංගත තත්ත්වය නිසා ජනයා නිවාසවල ලොක් ඩවුන් කරගෙන සිටින අවස්ථාවක පවා එය නොසලකා තමන්ගේ මාසික වැටුප හෝ මාස භාගයක වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටින්නට රජයට සිදුවීමෙන්ම රජය ඇද වැටී තිබෙන අර්බුදයේ තරම තේරුම් ගත හැකිය.

1978න් පසුව විටින් විට බලයට පත්වන පාලක පක්ෂ පොදු වස්තුව කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රාජ්‍යය බංකොළොත් කිරීමට සේ ම රජයේ ආයතන දූෂණයෙන් කුණුවූ තත්ත්වයට පත් කිරීමට හේතුවිය. වස්තුව කොල්ලකෑම පාලකයන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වීම නිසා අනෙක් සියලු දේවල් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව නැති වී රටේ අන් සියලු දේවල් අවුලෙන් අවුලට ගිය තත්ත්වයකට පත්විය.


පටු දේශපාලන වාසි සලකා අනවශ්‍ය ලෙස රජයේ සේවයට පුද්ගලයින් බඳවා ගැනීම රජයේ සේවය අනවශ්‍ය තරමට ප්‍රසාරණය කරන්නට හේතුවී රජයේ සේවය අකාර්යක්ෂම කරන්නට හේතුවූවා සේ ම ඔවුන්ට ගෙවිය යුතු වැටුප් බිල ඉසිලිය නොහැකි වැය බරක් කිරීමටද හේතුවිය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ විටින් විට වර්ග, කුල, ආගම් භේද නිසා ඇතිවූ කලකෝලාහල හා කැරලි රටේ ජාතික සමගිය අවුල් කොට විශාල ජීවිත හානිවලට අතිරේකව විශාල දේපළ හානිද ඇති කරමින් රටේ ආර්ථිකයද දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය.

විදේශ ණය මත ආරම්භ කරන සංවර්ධන ව්‍යාපාර පාලකයන්ට අයථා ලෙස ධනය උපයා ගතහැකි ප්‍රධානම මාර්ගය බවට පත්වීමත් සමග රටේ සංවර්ධනයට ඵලදායී ලෙස දායක නොවන බොරු සංවර්ධන ව්‍යාපාර ආරම්භ කොට පවත්වාගෙන යාම සාමාන්‍ය දෙයක් බවට පත්වී, වාණිජ පදනමකින්, වැඩි පොලියක් සහිත කෙටි කාලීන ණය ලබාගැනීම මෝස්තරයක් බවට පත්විය. ඒ නිසා විදේශ ණය පරිමාව සේ ම ඒවාට වාර්ෂිකව ගෙවිය යුතු වාරිකයේ ප්‍රමාණය සේ ම පොලියේ ප්‍රමාණය දා වේගයෙන් ඉහළයමින් එය රටට ඉසිලිය නොහැකි බරක් බවට පත්විය. 2018 වසර වනවිට ඊළඟ අවුරුදු හතර සඳහා පමණක් විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකවල හා ඒ සඳහා ගෙවිය යුතු පොලියේ අගය ඩොලර් බිලියන 14.9ක් බවට පත්ව තිබුණි. පසුගිය ජනාධිපතිවරණය වන විට විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකයේ හා ඒ සඳහා ගෙවිය යුතු පොලියේ ප්‍රමාණය රජය රජයේ බැංකු හරහා ලබාගෙන තිබූ විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකය හා පොලිය සමග ගත් විට රජයේ වාර්ෂික ආදායම මෙන් සියයට 101කක් තරම් විශාල වී තිබුණි.

ආර්ථික යථාර්ථය


දැන් ලංකා ආණ්ඩුව තිබෙන්නේ පරිපූර්ණ අර්ථයෙන්ම බංකොළොත් තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන වැදගත් මාර්ග ඇහිරී හෝ අහුරාගෙන තිබේ. ජනාධිපතිගේ බදු සහන වැඩසටහන රජයට අහිමි කර තිබෙන ආදායමේ ප්‍රමාණය රුපියල් බිලියන 650කි. රටට විදේශ විනිමය ආදායම් ලබාදෙන ප්‍රධාන මාර්ගයක් වශයෙන් පැවති විදේශ රැකියා කරන්නන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ආදායමද මුළුමනින් බිඳ වැටී තිබේ. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම තිබෙන්නේද මුළුමනින් කඩා බිඳ වැටුණු තත්ත්වයකය. අපනයන වෙළෙඳාමෙන් උපයන ආදායමේද ශීඝ්‍ර බිඳ වැටීමක් ඇතිවී තිබේ.

දැන් රජයේ ඒකාබද්ධ අරමුදල තිබෙන්නේද පාර්ලිමේන්තුව ආපසු කැඳවා අනුමැතිය ලබාගත්තද එම අරමුදලේ අරමුදල් නැති හිස්වූ තත්ත්වයකය. ණය ලබා ගැනීම ඒකාබද්ධ අරමුදල කිසියම් ප්‍රමාණයකට පුරවා ගත හැකි පහසු ක්‍රමය ලෙස සැලකිය හැකි වුවද, දැන් ලංකාව තිබෙන්නේ ණය ලබා ගැනීම පවා පහසු නැති අවුල්සහගත තත්ත්වයකය. ලංකාව ශ්‍රේණිගත කිරීමේදී ඉ ශ්‍රේණියේ සිට ඉ- ශ්‍රේණියට පහත දමා ඇති බැවින් අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබාගන්නේ නම් සීයට 6-8ත් අතර අධික පොලියක් ගෙවන්නට සිදුවේ. එම තත්ත්වය ලංකාවේ කෙටිකාලීන ණය අර්බුදය උග්‍ර කිරීමට හේතුවනු ඇත. ආණ්ඩුවට ස්වාධීන බැඳුම්කර මගින් ණය ලබාගැනීමට තිබෙන හැකියාවද විශාල ප්‍රමාණයකට බිඳ වැටී තිබෙන අතර ඒ සඳහා දරා තිබෙන උත්සාහයන් ගණනාවක්ම අසාර්ථක වී තිබේ. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් මහ බැංකුවට ණය ලබාගැනීමට තිබුණ හැකියාවද බිඳ වැටී තිබෙන අතර නිකුත් කරන බැඳුම්කර මහ බැංකුව විසින්ම මිලදී ගත යුතු තත්ත්වයක් ඇතිවී තිබේ.

අඳුර ජය ගැනීම


ඇතිවී තිබෙන මෙම තත්ත්වය හමුවේ රටේ ව්‍යාපාරික කටයුතුවල, ලොකු බිඳ වැටීමක් ඇතිවී ලක්ෂ ගණනකට රැකියා අහිමි කරන තත්ත්වයක් ඇතිවිය හැකිය. රජයේ සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ද වෙනත් ගෙවීම් සඳහා ද, අලුතෙන් අච්චු ගැසූ මුදල් යොදා ගතයුතු පිළිවෙතක් තුළ විශාල උද්ධමනයක් ඇතිවී භාණ්ඩ මිල ඔරොත්තු නොදෙන තරම් ඉහළ යාමක් ඇතිවනු නොවැළැක්විය හැකිය. ඉතිරි කිරීම්වලින් ජීවත් වන අයගේ ඉතිරි කිරීම් වාෂ්ප වන තත්ත්වයක් ඇතිවනු ඇත. ඒ සියල්ල නිසා සමාජ-දේශපාලන තලයේ අවුල් හා කැළඹිලි ඇතිවිය හැකිය.


මෙය නිදහසින් පසු ලංකාව මුහුණ දෙන ලොකුම අර්බුදය ලෙස සැලකිය හැකිය. සමස්ත සමාජ-දේශපාලන ක්‍රමය බිඳ වැටී රට පූර්ණ අරාජක තත්ත්වයකට පවා පත්විය හැකිය. ආණ්ඩුවට හෝ කිසිදු විරුද්ධ පක්ෂයකට මෙම අර්බුදයට විසඳුම් දීමේ හැකියාවක් හෝ ඒ සඳහා වන සාරවත් දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ලංකාවේ මෙවැනි කඩා බිඳ වැටීමක් සිදුවිය හැකි බව කල්තියා දකින්නට සමත් වූයේ හා ඒ බව කල්තියා ප්‍රකාශ කිරීමට සමත් වූයේ පුනරුද ව්‍යාපාරය පමණය. මෙම අර්බුදයට විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත් වූයේද එම ව්‍යාපාරය පමණය. 2018 ජූලි 18 වන දින පුනරුද ව්‍යාපාරය මහජන සංවිධාන සිය ගණනක් වෙත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා ජනතා ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් කරන ලද ආයාචනයක ඇතිවන්නට යන මෙම අර්බුදය කෙටියෙන් විස්තර කර තිබුණේ මෙසේය.


“ලංකාව මුහුණ දී තිබෙන මහා පරිමාණ අර්බුදය විවිධ ස්වරූප ගනිමින් නිදහසේ සිට ක්‍රමයෙන් වර්ධනය වූවක් ලෙස සැලකිය හැකිය. මෙම මහා පරිමාණ අර්බුදය නිසා රට අරාජකත්වයකට තල්ලුවෙමින් පවතී. රටේ සියලු දේශපාලන පක්ෂවල හා දේශපාලන නායකයන්ගේ අසමත්භාවය මෙම අර්බුදයේම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. මේ විද්‍යමාන වන්නේ අපේ රටේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයේ එක් ඓතිහාසික යුගයක අවසානය ළඟාවෙමින් තිබෙන බවයි.”

(රාවය පුවත්පත)