ගෝඨාභයට එරෙහි පෙත්සම නිසා නිදහස් පක්ෂය සජිත් පැත්තට හැරෙයිද? (බුදදා විමසුම)

ගෝඨාභයට එරෙහි පෙත්සම නිසා නිදහස් පක්ෂය සජිත් පැත්තට හැරෙයිද? (බුදදා විමසුම)

ගිය සතියේ බුදදා විමසුම ලියන්නට බැරිවුනේ අධික වැස්ස නිසා නම් නොවේය. බොහෝ දෙනෙක් මේ දවස්වල කරන්න බැරිවෙන වැඩවලට හේතුලෙස ඉදිරිපත් කරන්නේ ‘මහ වැස්ස’ නිසා ඒ හේතුව මුලින්ම පැත්තකින් තැබීමට කැමැත්තෙමි. ගිය සතියේ ලියන්නට තරම් වැදගත් යමක් නොතීබූ නිසාත් දේශපාලන චණ්ඩ මාරුතය හමායන පැත්තක්වත් තීරණය කරන්නට බැරිව හොඳම දේ නොලියා සිටීමය. ඒත් මේ සතිය වනවිට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇත, තුරුම්පු ආසි දෙකේ කොලේට වැටී ඇත, සමහර බාල කොළ තුරුම්පූ වී අතේ වාසිය ගන්නට හැකි තැනට පැමිණ ඇත. ඒ නිසා මේ සතියේ බුදදා විමසුම නොලියාම බැරිය.

පහුගිය සතිය වනවිට රනිල් වික්‍රමසිංහ කාලයක් තිස්සේ දායිදෝ නොදායිදෝ සිත සිතා කෙකර ගගා සිටි බිත්තර දැමූ අතර එය ගම්කිකිළියකගෙන් ෆාම් බිත්තරයක් අපේක්ෂා කළ බොහෝ දෙනෙක්ට හිත රිදුම්දෙන්නක් විය. සජිත් හැර විකල්පයක් නැති බව බුදදා විමසුම අවස්ථා ගණනාවකදී කියූවාක් මෙන් රනිල්ට අන්තිමට සජිත්ට අපේක්ෂකත්වය දෙනවා හැරෙන්නට කළහැකි අන්යමක් නොවීය. එහිදී තීරණාත්මක සාධකය ලෙස බලපෑවේ එ.ජා.පෙ ට සම්බන්ධ සුළු පක්ෂ රනිල් අතහැර සජිත් සරණ යාම බව ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්නට අමාරු නැත. සුළුතර එ.ජා.ප යක් සහ හරිහමන් තීරණයක් නැති දෙමළ සන්ධානය සමග අසරණවී තවත් අවුරුද්දක් දෙකක් ඉන්නට තිබෙන දේශපාලන පොර පිටියෙන් කුජීතවී අතුගෑවී යනවාට වඩා රනිල් සජිත්ට බැටන් එක දෙන්නට තීරණය කර ඇත. එයට රනිගේ ගජමිතුරන්ගේ තීරණයද බලපෑ බව නොරහසකි.

සජිත් නිසා මොරාල්

සජිත් ට අවස්ථාව ලැබීම නිසා එ.ජා.ප පාක්ෂිකයන් මෙන්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ද සිටින්නේ සජිත් ජනාධිපතිවූ තරමට සන්තෝසයෙන් සහ මොරාල් එකකින් වීම එක පැත්තකින් දියාරු මැතිවරණයක් වන්නට තිබූ ජනාධිපතිවරණයට නියම පණක් ලැබී තිබේ. මහින්දවාදීන් ‘සජිත් එක්ක ගේමක් නෑ’ කියා කොතරම් කිව්වත් සජිත් අපේක්ෂකයා කළ පසු පොහොට්ටුවේ නියෝජිතයන්ගේ මුහුණුවල තිබූ ‘හීන් දාඩිය’ මාධ්‍ය නොදැක්කා නොවේය. ඒ නිසා බොරු අධි තක්සේරුවෙන් 2015 මහින්ද ඇණගත්තා සේ නොසිට එදා මහින්දට නොලැබුණු ඡන්ද ගොඩ සොයා වෙහෙස මහන්සිවීම පොදුජන පෙරමුණ විසින් කළයුතුම දේ බව සහතිකයක.

එවැනි තැනකදී දැන් එ.ජා.ප ය තවත් පක්ෂ ගණනාවක් සමග පුළුල් සන්ධානයකින් තරඟයට එද්දී පොදුජන පෙරමුණට පොහොට්ටුව කරපින්නාගෙන තනි පක්ෂයක් ලෙස ගමනක් යන්නට හැකියැයි කීම විහිලුවකි. පොහොට්ටුව ඇතුලේ ඇති පක්ෂ ඉතා සුළු ජනබලයක් ඇති පක්ෂ මිස එ.ජා.ප සන්ධානය තුල ඇති පක්ෂ මෙන්ම තනි ජනවරමක් හිමි පක්ෂ නොවීම නිසා පම්පොරිය පැත්තක තබා සිරිසේන ජනාධිපතිවරයා සමග එකඟවී සහය ලබා නොගන්නවානම් ගෝඨාභයටත් නගින්නට තාප්පයක්, ජනේලයක් දැන්ම සොයාගත යුතුව ඇත. කොයිතරම් තක්සේරු කළත්, විසිල් ගාණෙන් ගණන් හැදුවත් පොහොට්ටුවට තනිව තරඟ කර ලක්ෂ 50 පැන්නීම අසීරුය. සිරිසේන ප්‍රමුක නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 8-10 අතර ප්‍රමාණය ලාබගත හොත් ගෝඨාභයට යාන්තමට ඡන්ද ලක්ෂ 60 ඉක්මවිය හැකිය. එහෙත් දළ වශයෙන් මෙවර 50% පසුකරන්නට තවත් ඡන්ද ලක්ෂ 5ක් වත් හිමිවිය යුතුය. එය අලුත් ඡන්ද ලක්ෂ 2න් සහ පාවෙන ඡන්ද ලක්ෂ 3-5 අතර ප්‍රමාණයෙන් ලබාගත යුතුය.

තීරණාත්මක ඡන්ද ගොඩ?

ඒ නිසා මෙවර මැතිවරණයේ තීරණාත්මක ඡන්ද කොටස වන්නේ වෙනදා මෙන් සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂ හෝ ආගමික පදනමින් බිහිව ඇති පක්ෂවල ඡන්ද නොවන අලුත් ඡන්ද දායකයන් සහ පාවෙන ඡන්ද ටික බව පැහැදිලිය. මෙතැනදී ගෝඨාභය සහ බැසින් ඥානාන්විතය. කාලයක් තිස්සේ ඉව අල්ලමින් සිටින්නේ මෙම ඡන්ද ටිකටය. එයින් පාවෙන ඡන්ද වැඩිකොටසක් විද්වතුන් සහ වෘත්තිකයන්ය. අලුත් ඡන්ද සියල්ලම තරුණ පරපුරේය. වෘත්තිකයන් සහ විද්වතුන් වෙනුවෙන් ගෝඨාභය කාලයක් තිස්සේ රටපුරා කරක්ගහන්නේත්, පොහොට්ටුවේ පොඩි පොඩි ඇච්චන් බැච්චන් දමා සමාජ ජාලවල අලුත් වැඩකරන්නේත්, එක එක සම්මන්ත්‍රණ සූදානම් කරන්නේත් අලුත් ඡන්ද ටික තමන්ගේ ගොඩට දාගන්නටය. ඒ අතින් සජිත් සහ යූ.ඇන්.පී ය ගව්ගණනක් පසුපසින්ය. එහෙත් අලුත් ඡන්ද හෝ පාවෙන ඡන්ද ගත් පමනින් ගෝඨාභයට ගොඩයා නොහැකිය, නිසැකවම නිදහස් පක්ෂය තමන් සමග සිටගත යුතුමය. ඒ නිසා සිරිසේන බෙරිහන් දෙමින් නිදහස් පක්ෂය තීරක බලවේගය බව කියන්නේ ආතල් එකටවත් අසරණකමට වත් නොවන බව දැන් වැටහෙනවා ඇත.

ගෝඨාභයට අවුලක්

මේ සියලු ජරමරයන් මැද පොහොට්ටුවට හිතවාදී මන්ත්‍රීවරුන් එ.ජා.ප යට බා ගැනීමද සිදුවන නිසා එය ගැනත් වෙහෙසෙන්නට වී ඇත. නමුත් බරපතලම අභියෝගය දින කීපයකට කලින් ගෝඨාභය සහ මහින්දගේ හිස මත කඩා වැටෙන්නේ අවසන් මොහොතේ එ.ජා.ප යට හිතවාදී පාර්ශවයක් විසින් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉලක්ක කරගෙන පෙත්සමක් ගොනු කිරීම සහ එය අද (2) විභාගවීමය. යම් හෙයකින් මෙතැනදී ගෝඨාභයගේ අපේක්ෂකත්වයට ප්‍රශ්නයක් වුවහොත් පොහොට්ටුවේ ඊළඟ විකල්පය චමල් හෝ දිනේෂ් විය හැකිය. සිරිසේන විකල්පයක් ලෙස පිළිගන්නට පොහොට්ටුවේ සාමාජිකයන් කිසිසේත්ම සූදානම් නැත.

එසේම නිදහස් පක්ෂය දැන් සති ගණනාවක් තිස්සේ වැට උඩ සිට පොහොට්ටුව දෙසට අඩිය තිබ්බා පමණි. ගැටළුව වශයෙන් තිබූ පොහොට්ටුවේ ලකුණ වෙනස්කරන්නට දැන් බැසිල් සහ මහින්ද සූදානම්ය. එය පොහොට්ටුවේ පාක්ෂිකයන්ට හිත්වේදනාවක් වුවත් සිරිසේනගේ සහය අවශ්‍ය නිසා එය කරන්නටම සිදුව ඇත. එහෙත් දැන් හදිස්සියේවත් ගෝඨාභයට අපේක්ෂකකම අහිමිවුවහොත් පොහොට්ටුවේ ජවය ගව් ගණනක් පසුපසට යෑම සහතිකයක. මහින්ද හෝ ගෝඨාභය මිස පොදුජන පෙරමුණ දිනවිය හැකි කිසිඳු වෙනත් චරිතයක් නැත. ඒ නිසා දැන් නිදහස් පක්ෂය ආයෙත් වැට උඩට නැග ඇත.

නිදහස් පක්ෂය සජිත්ට?

ඔක්තෝම්බර් 5 විශේෂ රැස්වීමක් පවත්වා සහය දෙන්නේ සජිත් ට ද නැත්නම් පොදුජන පෙරමුණටද කියා තීරණය ගන්න තැනට නිදහස් පක්ෂය පසුබසින්නේ ගෝඨාභයගේ අපේක්ෂකත්ව අර්බුදය නිසාය. යම් හෙයකින් ගෝඨාභයට අපේක්ෂකත්වය අහිමිවුවහොත් සිරිසේන ජනාධිපතිවරයා නිසැක වශයෙන්ම තමන්ට අපේක්ෂකත්වය ලබාදෙන ලෙසත් පොහොට්ටුව සහ නිදහස් පක්ෂය ඒකාබද්ධකර අගමැති ලෙස මහින්දට පැමිණෙන ලෙසත් ආරාධනා කිරීම ඉරහඳ මෙන් සහතිකයක. එහෙත් මහින්දට එයට ඉඩක් දීමට කිසිසේත්ම අවකාශයක් නැත. සිරිසේනගේ ගැට දැන් මහින්ද හොඳහැටි දන්නවා සේම පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ද දන්නෙහිය. ඒ නිසා සිරිසේනට අපේක්ෂකත්වය පොහෙට්ටුවෙන් නම් ලැබෙන්නේ නැත.

එතනදී සිරිසේනට නිදහස් පක්ෂය සමග ජයග්‍රහණය අවිනිශ්චිත පොහොට්ටුවට සහය දෙනවාට වඩා ජයග්‍රහණයට ලඟ සජිත්ට සහය දෙන්නට වෙන තැනට පත්වනු නියතය. රණ්ඩු වෙවී හෝ එ.ජා.ප ය සමග ආණ්ඩුවක් කරගෙන ගිය නිසා ඉදිරියටත් එසේ යන්නට සිරිසේනට බැරි යයි කාටවත් කිව නොහැකිය. ඒ නිසා නිදහස් පක්ෂය වැට උඩට පැමිණීම අතිශයින්ම තිරණාත්මකය. එහෙත් අද හෝ හෙට මේ සියල්ලට පිළිතුරු ලැබෙන නිසැකය.

(කවීෂ්වර)

More Articles