සජිත් යා යුත්තේ මහින්දගේ අඩිපාරේය - සිතිය යුත්තේ බැසිල්ගේ ඔලුවෙන්ය (බුදදා විමසුම)

සජිත් යා යුත්තේ මහින්දගේ අඩිපාරේය - සිතිය යුත්තේ බැසිල්ගේ ඔලුවෙන්ය (බුදදා විමසුම)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය නොසිතූ ලෙස අවුල් වියවුල් වෙමින් දිග්ගැස්සී අවසන්ය. එක පැත්තකින් වසර හතරක් තිස්සේ ආණ්ඩු කිරීමෙන් අන්ත පජාත වී සිටින එ.ජා.ප යේ අවස්ථානුකූ වටිනාකම (Situational Value) ඉහළ නැංවීමට සමත්ව ඇති අතර, එහි වක්‍රාකාර ප්‍රතිඵලයක් ලෙස ජනමාධ්‍යට, ජනතාවට, පක්ෂ වලට, දේශපාලනඥයන්ට ගෝඨාභය රාජපක්ෂගේ සම්ප්‍රාප්තිය සහ මැතිවරණය ජයගන්නට ඔහු ගහන ගේම අමතකවී ඇති හැඩක් පෙනෙන්නට ඇත. එක පැත්තකින් එය ගෝඨාභයට වාසියක් වන්නේ දිගින් දිගටම තමන්ට වැදුණු පහරවල් මදකට අඩුවී එ.ජා.ප යේ අපේක්ෂක පොරයට අවධානය යොමුවීමය. අනෙක් පැත්තෙන් තමන්ට පහරදුන් පාර්ශවයන්ම හවුලේ කා කොටාගන්නා වාතාවරණයක ගෝඨාභයට හෙමින් සීරුවේ තමන්ගේ දේශපාලනික පෞර්ශ්‍යත්වය ගොඩනගාගැනීමට ඉසිඹුවක් කරගැනීමය.

රනිල් බාබර් සහ දැලිපිහිය

රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කරන ප්‍රකාශයන් හමුවේ සහතික වශයෙන් පෙනෙන්නට ඇති දේ නම් සජිත් ප්‍රේමදාසට ‘එක්සත් ජාතික පක්ෂයෙන්’ ජනාධිපතිවරණයට නාම යෝජනා නොලැබෙන බවය. කොණ්ඩය තමන්ගේ වුවත් කපන්නේ බාබර්ය, දැලි පිහිය ඇත්තේ බාබර් ලඟය. යූ.ඇන්.පී සැලුන් එකේ තනි බාබර් රනිල් ය. අති බහුතරයක් දෙනාට ඇත්තේ කොණ්ඩය පමණකි. එහෙත් රනිල් සතුව කතුර සහ දැළිපිහිය පමණක් නොව කොණ්ඩය කැපූ පසු හිසේ සහනයට ආලේප කරන ටොනික් එකද ඇත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හෝ කරූ ජයසූරිය නියත වශයෙන්ම එ.ජා.ප යේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත. එවැනි තැනකදී සජිත් ප්‍රේමදාස අවලංගු කාසියක් නොවන්නට නම් තනිකරම තීරණය ඇත්තේ සජිත් අතේය.

මේ මොහොතේ සජිත් රනිල්ට මෙල්ලවී ‘අගමැති අපේක්ෂක’ කට්ට සූප්පු කරන්නට හීන දකින්නට පෙළඹුනහොත් අනාථ වන්නේ සජිත් ප්‍රේමදාස හිතවාදී බහුතරයක් දෙනාය. පැහැදිලිවම මේ මොහොතේ සජිත් ප්‍රේමදාසට එ.ජා.ප යේ බහුතරයක් බිම් මට්ටමේ පාක්ෂිකයා මෙන්ම පළාත් පාලන, පළාත් සභා සහා පාර්ලිමේන්තු කණ්ඩායමේ සහය හිමිව ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ නැමති ‘ආත්‍රපෝඩාවා’ ඉතා උපක්‍රමශීලී ලෙස අවස්ථානුකූලව සමායෝජනය වෙමින් පෙරකී බහුතරයේ එක දෙක ගැලවීමේ ‘මයින්ඩ් ගේම්’ එකක් ක්‍රීඩා කරමින් සිටියි. අත්දැකීම් අඩු සජිත්ට මේ ගේම් එකට මුහුණ දෙන්නට බැරිය. ඒ මදිවට දේශපාලනයේ විවිධ ගේම් දන්නා මංගලට හෝ මලික්ට ද රනිල් ගේ මේ ගේම්වලට කවුන්ටර් ඇටෑක් කරන්නට අමාරුය.  ඒ නිසා සජිත් අඩියක් පස්සට ගන්නට පෙර ගව් ගණනක් පස්සට විසීවීම වලක්වන්නට බැරිය.

සජිත් පාවාදෙයිද?

ඒ නිසා වැදගත්ම දේ සජිත් මේ මොහොතේ රනිල්ට මෙල්ලවී තමන්ගේ පිරිස පාවාදීම සිදුකළහොත් රනිල් අදාල පිරිසෙන් පන්නා පන්නා පළිගන්නවා සේම ඔවුන්ට ඉදිරියේදී එ.ජා.ප ය තුල සිටිනවානම් අති දුෂ්කර අත්දැකීම් මාලාවකට මුහුණදීම හෝ නැත්නම් එ.ජා.ප යෙන් එළියට බැස දේශපාලන අනාථයන් වීමට සිදුවනු ඇත. සජිත්ගේ ඉතිහාසයේ එවැනි තැන් ඇති නිසා රනිල්ට මෙල්ලවී තමන්ගේ දේශපාලන අනාගතය සහ තමන්ට සහය දක්වන පිරිසගේ දේශපාලන ඉරණම විනාශ කරන්නට නොපෙළඹිය යුතුය. සාධනීය තත්වයක් ඇත්තේ වෙනදා ‘එහෙයි නායකතුමනි’ කියා බිම බලාගන්නා සජිත් වෙනුවට දැන් ඇත්තේ ටිකක් මුරණ්ඩු, හිතුවක්කාර සහ යම්කිසි සැලැස්මක් ඇතිව, සංයමයකින් ඉදිරිය බලන මොඩරේට් ලෙවල් එකක සජිත් කෙනෙකි. අන්න එබැවින් සජිත් ගේ තීරණය අතිශයින්ම වැදගත්ය.

මහින්ද ගිය පාරේ

මහින්ද රාජපක්ෂ අනුගමනය කළ දේශපාලන පිළිවෙත මෙතනදී සජිත්ට වැදගත් වන්නේ එබැවින්ය. 2015 පරාජයට පත්වී මැදමුලනේ ජනෙල් පඩියට නගින්නට සිදුවූ මහින්ද රාජපක්ෂ පිළිබඳ බොහෝ දෙනෙක් ඇතිකරගත් තක්සේරුව වූයේ නියත වශයෙන්ම රාජපක්ෂ පරම්පරාව සමගින්ම දේශපාලනයෙන් අතුගෑවී යාවි යනුවෙන්ය. පරාජයත් සමගම අතට අහුවුණු මල්ලත් අරගෙන බිරින්දෑ සමග රට පැන්න බැසිල් ආයෙත් ලංකාවට පය තබාවී කියා හෝ කිසිවෙක් සිතුවේ නැත. එහෙත් රාජපක්ෂලා එතනදි කට්ට කෛරාටික උපක්‍රමශීලී විතැන්වීමකට (Strategical Withdrawal) අවස්ථාව කරගත්හ. ඒ සඳහා බලපෑ සාධක මෙන්ම සහය දුන් පාර්ශවද සිටියහ. මේ මොහොතේ සජිත්ටද එවැනි උපක්‍රමශීලී විතැන්වීමකට මිස අන් මගකින් ගොඩයා නොහැකි බව පැහැදිලිය. පක්ෂය තුල සිටිය හොත් සජිත්ට සිදුවන්නේ නවනින්දා විඳිමින් සිය සහචරයින් සමග රනිල්ට හෝ කරූට කඩේ යන්නය. එවිට කිසි කලෙක සජිත්ට නැවතත් මෙවැනි ජනබලයක් ගොඩනගාත නොහැකිවාක් සේම කිසිඳු එ.ජා.ප දේශපාලනඥයෙක් තවදුරටත් සජිත්ව විශ්වාස කරන්නේද  නැත.

බැසිල්ගේ මොළය

එබැවින් මේ මොහොතේ බැසිල් රාජපක්ෂයේ ඔලුවෙන් සිතා බලා සජිත් ප්‍රේමදාස කළ යුත්තේ තමන්ට ඇති බලවේගය සමගින් සාම්ප්‍රදායික එ.ජා.ප යෙන් එළියට බැසීමය. එදා නිදහස් පක්ෂයෙන් එළියට බැස්ස රාජපක්ෂලා කීවේ නිදහස් පක්ෂය ඇත්තේ ඩාර්ලි පාරේ බිල්ඩින් එකේ නොව පාක්ෂිකයා සැබෑ ලෙසම රැඳෙන තැන බවය. සජිත් තමන්ගේ දේශපාලන සතුරාගෙන් ඉගනගත යුත්තේ ද එයයි. සතුරාගෙන් ඉගනගන්නා පාඩම නිර්ව්‍යාජ හොඳම පාඩම බව වරක් ලෙනින් කියා ඇත. ඒ නිසා එ.ජා.ප ය යනු සිරිකොත නොව එ.ජා.ප පාක්ෂිකයා රැඳෙන තැන බැවින් සජිත්ට කොන්ද කෙලින් තබාගෙන තමන්ට අසාධාරණයක් කළ පාක්ෂිකයාට අසාධාරණයක් කළ පිටකෝට්ටේ බිල්ඩිමෙන් එළියට බැස අලුත් පක්ෂයක් නිර්මාණය කරගැනීම සහතිකයෙන්ම කළ යුතු දෙයකි. දැන් එයට හොඳම වෙලාව වන අතර එ.ජා.ප පාක්ෂිකයාද ඉන්නේ සජිත්ට මිස වෙන කෙනෙක්ට ඡන්දය නොදෙන මට්ටමකය. පාක්ෂිකත්වයට ලකුණු හෝ නම අදාල නොවන බවට ආසන්නතම උදාහරණය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලැබුණු අතිවිශාල ඡන්ද පදනමය. එසේ වූයේ උපක්‍රමශීලීව ගේම් එක කළ නිසාය. නිදහස් පක්ෂය අද ලෙල්ලට වැටී නන්නත්තාර වී සිටින්නේ බැසිල්ලාගේ, මහින්දලාගේ ගේම් එක නිසාය. සජිත් යා යුත්තේ මහින්දගේ අඩිපාරේය.

අලුත් සන්ධානයක්!

අලුත් පක්ෂයක් පිහිටවීම සිදුකල හැකිවුවහොත් සජිත්ට තමන් සමග සිටින පිරිස එයට කැඳවාගෙන යාම එතරම් අමාරුවක් නැත. පොහොට්ටුවේ සාර්ථකත්වය ගැන දන්නා උදවිය එවැනි පිම්මකට දෙපාරක් හිතන්නේද නැත. නමුත් 2018ට කලින් දේශපාලනඥයන් සහ පාක්ෂිකයන් යන දෙපාර්ශවයම එවැනි පිමි වලට බියවුනේ ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණී දිසානායකලා ගේ භාවිතාවන් අධ්‍යයනය කිරීමෙන් සිදුවූ ව්‍යසනයන් දැකීමෙන්ය. දැන් එහෙම බයක් නැත. ඒ නිසා සජිත් ප්‍රමුඛ පිරිසකට සැබෑ එ.ජා.ප ය එළියට ගතහැකිය. එවිට සිරිකොතේ ඉතිරිවන්නේ රනිල් නැමති ගහේ වැඩෙන පරපෝෂිත ශාක හෙවත් ගජමිතුරු කණ්ඩායම සහ ඔවුන්ට හිතවත් පාක්ෂිකයන් පමණි. පාඨලීලාට, අර්ජුනලාට, රාජිතලාට, මනෝ ගනේෂන්ලාට එ.ජා.ප ය හෝ රනිල් අදාල නැත. ඔවුන් එක් වන්නේ බර වැඩි තැනටය. ඒ නිසා සජිත්ගේ අලුත් පක්ෂයේ දීප්තිය වැඩිනම් ඒ පිරිස එතැනට ගොනුවීම වැලැක්වීම උන්දෑලාගේ බිරින්ඳෑවරුන්ටවත් බැරිය. එවිට ගොඩ වැඩිවෙද්දී කේවල් කිරීමේ බලය වැඩිවන්නේද සජිත් ට ය. මන්ද එතැනදීම රනිල්ගේ විපක්ෂනායක සිහිනය මිස වෙනත් යමකට ඉඩක් නැතිවන බැවින්ය.

කේවල් කිරීමේ බලය වැඩි නිසා සජිත්ට අලුත් සන්ධානයක් තුලට හකීම්ලා, රිශාඩ්ලා පමණක් නොව පොහොට්ටුව ඉදිරියේ පච වීමට අකමැත්තෙන් ආතක් පාතක් නැතිව සිටින සිරිසේන ප්‍රමුඛ නිදහස් පක්ෂයද එක් කරගත හැකිය. සිරිසේන ජනාධිපතිවරයා හැම තැනදීම කියන්නේ ‘එ.ජා.ප ය සමග සන්ධානගතවීමක් සිදුනොවන බව’ මිස සජිත් සමග සන්ධානයකට අකමැති බවක් නොවන නිසා අලුත් සන්ධානයක කොළපාට හෝ අලියා ලකුණ නැති තැනකට එකතුවී එහි ප්‍රධාන හවුල්කරුවෙක් වන්නට සිරිසේන ප්‍රමුඛ නිදහස් පක්ෂයට බැරිකමක් නැත. එවිට සිරිසේනට සහ සජිත් ට win win අවස්ථාවකට පැමිණීමට බාධාවක් නැත. සජිත් ජනාධිපති අපේක්ෂකයා වෙද්දී සිරිසේනට තමන්ගේ හිතේ ඇති අගමැති අපේක්ෂක හීනය වෙනුවෙන් වෙහෙසෙන්නට ඉඩක් ඇත. එවිට ඒ සන්ධානය අතිශය ප්‍රබල වනවාට සැකයක් නැති අතර පොහොට්ටුවේ අපේක්ෂකයාට මෙන්ම එ.ජා.ප යේ අපේක්ෂකයාටද පහර දෙන්නට සජිත්ට සිරිසේන තරම් අයුධයක් තවත් නැත. හොරකම් හෝ මැරකම් කර නැති සිරිසේන ජනාධිපතිවරයාට අත දිගහැර පහරදෙන්නට හැකි නිසා සජිත්ට අලුත් සන්ධානය තුල සිරිසේන යනු මහර්ඝ වස්තුවක් වනු ඇත. එවිට නිදහස් පක්ෂයටද එය තුල අලුත් අගයක් ලැබෙන නිසා පොහොට්ටුව ඉදිරියේ බලු වීමට වඩා සිංහ සෙයියාවකින් කොන්ද කෙලින් තබාගෙන රාජපක්ෂලා පතුරු හරින්නට සජිත්ගේ නව සන්ධානය හෙවණැල්ලක් වනු ඇත.

සජිත් - මෛත්‍රී හවුලක්!

සජිත් කළ යුත්තේ එය මිස අන් කිසිවක් නොවන බව ඕනෑම දේශපාලනික අවබෝධයක් ඇති අයෙක්ට සිතාගත හැකිය. රනිල් චෙක් මේට් කරන්නටනම් එ.ජා.ප යේ ජනබලය කැඩිය යුතුමය. එ.ජා.ප සන්නාමය බිඳය යුතුමය. ඉන් පසුව බිහිවෙන නව පක්ෂය, නව පුළුල් සන්ධානය හරහා විශාල පීඩනයක් ජනාධිපතිවරණයේදී එල්ලකළ හැකි අතර ගණිතමය තර්කයකින් සහ පුළුල් අධ්‍යයනයකින් බලන කල්හි එම සන්ධානයට ජනපතිවරණය ජයගැනීමට පවා ඉඩක් ඇත.

ගැටළුව ඇත්තේ සජිත් ඒ සඳහා සූදානම් ද යන්න ය. දැනගන්නට ඇති ආකාරයට මංගලලා, කබීර් ලා, මලික් ලා ඒ සඳහා සූදානම්ය. සජිත්ගේ සූදානම තවමත් නැති බව පැහැදිලිය. මේ මොහොතේ සජිත් ‘පුත දීඝායු..දුර බලන්න ලඟ නොබලන්න” තියරියෙන් ඉදිරිය බලා සන්සුන්ව උපේක්ෂාවෙන් බලාසිටීමෙන් එ.ජා.ප අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත. සජිත්ට ගැටළුව ඇත්තේ පක්ෂය කඩාගෙන එළියට ගොස් වෙනත් පක්ෂයක් හැදුවහොත් ඉන්පසු තමන්ගේ පියාගේ සන්නාමය සහ එ.ජා.ප සන්නාමය සහිතව ගමනක් යා හැකිද යන්න පිළිබඳව ඇති විපරීත බිය විය යුතුය. එතනදී සජිත් සිතිය යුත්තේද බැසිල්ගේ මොළයෙන් ය. එවිට පක්ෂ සන්නාම අතහැරීම සහ මහින්දගේ අඩිපාරේ යාමෙන් දේශපාලනිකව High Risk තීරණයකට වුවත් එළඹීමට හැකියාව ඇත. මේ සැලැස්ම අනුගමනය කළහොත් සජිත්ට වරදින්නේ නැති බවනම් ලියුම්කරුට සහතිකය.

(කවීෂ්වර)

More Articles