එ.ජා.ප යේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ ද අවසාන අවස්ථාව..

එ.ජා.ප යේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ ද අවසාන අවස්ථාව..

ජනාධිපතිවරණය සඳහා බොහෝ දේ කලින්ම සූදානම්ය. නාම යෝජනා කැඳවන්නට ද පෙර බහුතරයක් අපේක්ෂකයන් තෝරා අවසන් ය. ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ බලු පොරය අවසන් කරන්නට පමණි. සමහර බලු පොර ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත. ලේ හැලී එකෙක් මැරෙන තුරුම අවසන් නොවන බලු පොර ඉතිහාසයේ සිටම එ.ජා.ප ය තුල පැවති නිසා මෙවර එය ලැජ්ජාවට හෝ විමතියට කාරණයක් නොවේය.

අනිත් හැමදේටම වඩා මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක වන්නේ හුදෙක්ම එය මේ රටේ ඉදිරි වසර පහක කාලය සඳහා රාජ්‍ය නායකයා සහ ආණ්ඩුව පත්කරගැනීම නිසා පමණක් නොව. එය මෙරට දේශපාලන ගමන් මාර්ගයේ එක් යුගයක අවසානය සටහන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති මැතිවරණයක් නිසාවෙන්ය.

සිරිසේන - ගමනක අවසානය

පැහැදිලිවම මේ ගතවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලයේ අවසන් මාස දෙක බව සහතිකය. කොතරම් එල්ලුම්ගස් වලට පණ දුන්නත්, හමුදාපතිවරු පත්කරත්, හොරුන් මිනීමරුවන් හිරේට යැව්වද ඒ කිසිවකට සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලයට රීලෝඩ් එකක් දමන්නට හැකියාවක් නැති බව හෙට උදේ ඉර පායනවා සේ විශ්වාසය. ඒ නිසා මහජන ඡන්දයෙන් තේරී පත්වී ජීවතුන් අතර සිටියදී දෙවනි වර මැතිවරණයට ඉදිරිපත් නොවන තරමට ජනතා අප්‍රසාදයට භාජනය වූ ජනාධිපතිවරයා බවට සිරිසේන ඉතිහාසගතවී අවසන්ය.

අනෙක් පැත්තෙන් සිරිසේන හැර මේ රටේ සියයට සීයක් ඡන්ද දායකයන්ගෙන් ප්‍රතික්ෂේප වන ජනාධිපතිවරයෙක් සිට නැත. 2015 මහින්ද පරාජයට පත්වූවද මහින්දට විරුද්ධවූයේ ලක්ෂ 62ක් පමණි. ලක්ෂ 58ක් මහින්දට කැමැත්ත ප්‍රකාශකර තිබුණි. නමුත් 2015 දී සිරිසේන ට ලක්ෂ 58ක් අකමැත්ත ප්‍රකාශ කළ අතර, දැන් ඔහුට එදා කැමැත්ත ප්‍රකාශ කළ ලක්ෂ 62 කද අකමැති වන තැනට වැඩ සිද්ධවී ඇත. ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව මුළු රටටම සිරිසේන එපාවී ඇති බව කවුරුන්හෝ සිරිසේන ජනාධිපතිවරයාට පැහැදිලිකර දෙනවානම් ඔහුගේ අනාගතයට එය වටිනාකමක් එක්කරනු ඇත.

රාජපක්ෂවරුන්ගේ අවසානය?

අනෙක් පැත්තෙන් පැහැදිලිවම මේ මැතිවරණය අතිශයින්ම තීරණාත්මක වන පාර්ශවයක් වේ නම් ඒ රාජපක්ෂවරුන්ය. දැනට දේශපාලනයේ සිටින චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල් වැනි රාජපක්ෂ පවුල් ගසේ අතු සහ නැවතත් මුට්ටිය දමන්නට බලාගෙන සිටින ශෂීන්ද්‍රලාට, නිපුනලාට ද මෙය අතිශය තීරණාත්මක මැතිවරණයකි. යම් හෙයකින් ගෝඨාභය පැරදුනහොත් පරදින්නේ ගෝඨාභය පමණක් නොව සමස්ත රාජපක්ෂ පවුල් ගසම කඩාගෙන වැටෙනවා නියතය. එවිට රාජපක්ෂලාට නගින්නට ජනේලයක්වත් ඉතිරිවේද යන්න සැක සහිතය. හුදෙක්ම ගෝඨාභයේ ජයග්‍රහණය මත නාමල්ලාගේ අනාගතය පවා රැඳී පවතී. ඒ නිසා රාජපක්ෂලා හොඳින් හෝ නරකින් දිනන්නට කටයුතු කරනු නිසැකය.

යම් හෙයකින් මේ මැතිවරණයෙන් ගෝඨාභය පරාජයට පත්වුවහොත් එහි වගකීම නැවත වරක් බැසිල් රාජපක්ෂ කර මතට වැටෙනවා සහතිකය. ඒ වගේම පොහොට්ටුව නම් සන්නාමයද දෙකේ කොලයට වැටීම නතර කරන්නට බැරිය. ඒ නිසා එවැනි තැනකදී නිදහස් පක්ෂයේ අත ලකුණ වැනි දීර්ඝකාලීන දේශපාලන නැගිටීම් වැටීම් වලට ඔරොත්තුදුන් දේශපාලනික ‘ආත්‍රපෝඩාවෙක්’ ගේ අවශ්‍යතාවය පැනනගිනු ඇත. සරලවම කිවහොත් මේ ජනාධිපතිවරණය රාජපක්ෂලාගේ ඉරණම තීන්දු කරන අවසන් අවස්ථාවය.

එ.ජා.ප යේ අවසානය?

අනෙක් පැත්තෙන් සහතික වශයෙන්ම මෙම මැතිවරණය දශක හතක එ.ජා.ප ඉතිහාසයේ අවසන් අවස්ථාව වනු ඇත. මේ මැතිවරණයෙන් එ.ජා.ප යේ අපේක්ෂකයා පරාජයට පත්වුවහොත් එ.ජා.ප යේ භයානක දෙදරීමක් වනවා සේම නැවත කිසිදිනක ‘කැපුවත් කොළ’ ලේබලය ඇලවුණු පාක්ෂිකයා පවා ඡන්ද පොළට ගෙනයාමට එ.ජා.ප යට නොහැකිවීම ගලේ කෙටුවාක් මෙන් සහතිකය. ඒ නිසා එ.ජා.ප යේ ඉරණම තීරණය කරන මැතිවරණයේ දැනටම එ.ජා.ප ය ගොන් පාර්ට් එකක් කරගනිමින් සිටින නිසා පරාජයේ වගකීම අවුරුදු 25ක් තිස්සේ එ.ජා.ප ය කොල්ලුපිටියේ බූදලය කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ ඇතුළු ගජමිතුරු නඩයේ කරමතට වැටෙනවා නොඅනුමානය. එවිට තවදුරටත් පිටකෝට්ටේ සිරිකොතට වී හැංගෙන්නට රනිල්ලාට, රවීලාට, අකිලලාට, ෆොනීලාට ඉඩක් නැතිවනු ඇත. එදාට එ.ජා.ප පාක්ෂිකයා ගසනා ගල්පාරවල් වලින් අඩුම තරමේ සජිත්ටවත් ගැලවීමක් නැත

මේ තීරණාත්මක බව එ.ජා.ප තේරුම්ගෙන නැති බවනම් පැහැදිලිය. ඒ නිසාම මොකෙක් හෝ අපේක්ෂකයෙක් දැමීම සහ පුළුවන්තරම් පුටුව රැකගැනීමේ තීන්දුවකට එනවා ඇරෙන්නට රනිල් වෙන විකල්පයකට යන බවක් පෙනෙන්නට නැත. එ.ජා.ප ය මුහුණ දී ඇත්තේ 1999 දී මුහුණදුන් ගැටළුවටම ය. ඇතුලත්මුදලිලා, ගාමිණීලා, ඔසීලා නැති යූ.එන්.පී ය නැතිකමට රනිලුත් හොඳයි කියා 1999 යේ ඡන්දයට ඉදිරිපත් විය. සමහරවිට නගර සභා බෝම්බය නොවන්නට දිනන්නට තිබුණේ ද රනිල්ය. ඒ තරමට චන්ද්‍රිකා පිරිහී තිබිණි. එහෙත් රනිල්ට කිසි දිනක ලක් එක කියා දෙයක් ඇත. ඇත්තේ යටිකූට්ටු වැඩවලින් ලැබෙන පිනා චාන්ස් පමණි. සජිත්ට තිබෙන ප්‍රශ්නයද කොන්ද කෙලින් තීරණයක් ගන්නට බැරිකමය. වේදිකාවේ පෝඩියම් පැලෙන්නට දැඟලුවාට රනිල් ඉදිරියේ පමණක් නොව අකිලලා, ෆොනීලා ඉදිරියේද සජිත් නිවටය, නියාලුය. සජිත් තමන්ගේ කොන්ද හදාගන්නේ නැතිව රටට කොන්ද දෙන්නට කතා කිරීම විහිලුවකි. කෙසේ වෙතත් එ.ජා.ප යට මේ අවසන් අවස්ථාවය.

ජනතාවගේ අවසාන මතය

මේ අවස්ථාවේ හරිහැටි සිතා බලා යමක් නොකළහොත් 1994ට වඩා අන්තවනු ඇත, නැත්නම් 1977 නිදහස් පක්ෂයට සිදුවුණාටත් වඩා බරපතල ඛේදවාකචකයට මුහුණදෙන්නට සිදුවණු ඇත. ඒ නිසා හුදෙක්ම මෙවර ජනාධිපතිවරණය ජනතාව මහලොකු සිහින තබාගෙන අරයා ආවොත් මෙහෙම කරයි, මෙයා ආවොත් මෙහෙම කරයි කියා සිහින මාලිගා හදාගත්තාට සත පහකට වැඩක් නැති මැතිවරණයකි. මේ ජනාධිපතිවරණයෙන් මිලියන දහස් ගණනක් මුදල් වැයකර අවසානයේ ලැබෙන එකම ප්‍රතිඵලය නම් එක්කෝ රාජපක්ෂලාගේ පවුලේ සැපසම්පත් සහ නීතිය ඉදිරියේ වැරදිකරුවන් වීමෙන් ආරක්ෂාවීම හෝ එසේත් නැත්නම් රනිල්ට තව කාලයක් පුටුවේ ඉන්නට ලැබීම,සජිත්ගේ මනදොල පිරීම සහ මහබැංකු හොරුන්ට, සතොස හොරුන්ට තව ටික කාලයක් සැඟවී සිටින්නට ඉඩ ලැබීම පමණක්මය.

ඒ නිසා ජනතාවක් ලෙස අහසේ මාලිගා හදාගෙන ඇද වැටී පරලෝ සැපත්වීමට වඩා මේ කාරණා ටික තේරුම් අරගෙන සහබුද්ධියෙන් ජීවත්වීම වඩාත් හොඳයැයි ලියුම්කරු යෝජනා කරයි. අවශ්‍ය ඔබේ ස්ථීර කිරීම පමණකි!

කවීෂ්වර