අවසානයේ ‘පොහොට්ටුව’ නිදහස් පක්ෂය ඉදිරියේ දණ නමයි - අගමැති මෛත්‍රී (බුදදා විමසුම)

අවසානයේ ‘පොහොට්ටුව’ නිදහස් පක්ෂය ඉදිරියේ දණ නමයි - අගමැති මෛත්‍රී (බුදදා විමසුම)

කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් තිබූ සාකච්ඡා නැවත ආරම්භවී සාර්ථකවූ බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නිදහස් පක්ෂ-පොහොට්ටු සාකච්ඡාව පිළිබඳ සිය අදහස් පළකර තිබුණි. එහෙත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ශවයෙන් තවමත් ස්ථිරසාර අදහසක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වී නැත.

පොහොට්ටුව දණ ගසයි

කෙසේ නමුත් සිය මන්ත්‍රීවරුන් ලවා මාධ්‍ය ඉදිරියේ නිදහස් පක්ෂය පීචං කර දැමූ පොහොට්ටුවේ නායකයන්ට අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දණ නැමීමට සිදුව ඇත. ‘නිදහස් පක්ෂය නැතිව ගෝඨාභයට පහසුවෙන්ම දිනන්නට පුළුවන්’ යනුවෙන් පාරම් බෑ පොහොට්ටුවේ නියෝජිතයින්ම අවසානයේ නැවතත් නිදහස් පක්ෂය සමග සාකච්ඡාවකට කැමැත්ත පළකරමින් සති ගණනක් තිස්සේ දිනයක් ඉල්ලා තිබේ.

අවසානයේ නිදහස් පක්ෂයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාව සාර්ථකවූ බව බැසිල් කීවද දයාසිරි මාධ්‍යට පවසා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා තවමත් මැතිවරණයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවය. ඒ නිසා සාකච්ඡා සාර්ථක යැයි කියන්නට තරම් කරුණු ද නැත.

තනිව ගමන ඉවරයි

එහෙත් පොහොට්ටුවට නිදහස් පක්ෂය නැතිව ගමනක් නැතිබව තේරුම්ගත්තේ එක් පසෙකින් ජනතා විමුක්ති පෙරමුණ වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සහ සජිත් නිසා එ.ජා.ප යේ අකර්මණ්‍යව සිටි පාක්ෂිකයා පවා මහ පාරට, ක්‍රීඩාංගණයට ගෙන්වාගත හැකි මට්ටමට පත්ව තිබීම නිසාය.

ඒ නිසා මේ වනවිට පොදුජන පෙරමුණට නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ නැතිව බැරි තැනට පත්ව තිබේ. එවැනි වාතාවරණයක තමන්ගේ අගය තක්සේරුවක් ඇති සිරිසේන ජනාධිපතිවරයා නිසැක වශයෙන්ම ජනාධිපති අපේක්ෂක ධූරය තමාට නොලැබෙන නිසා දිගින් දිගටම අගමැති තනතුර ලබාගැනීම සඳහා සිය නියෝජිතයන් හරහා පොහොට්ටුවට බලපෑම් කරමින් සිටියි.

මෛත්‍රී බලය පෙන්වයි

නමුත් මේ වන විටත් ගෝඨාභය ජනාධිපතිධූර අපේක්ෂකයා කරද්දී අගමැති ධූර අපේක්ෂකයා ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ දැඩිසේ භීතියට සහ කෝපයට පත්වන ඉල්ලීමක් බවට සිරිසේන ජනාධිපතිවරයාගේ අගමැති තනතුරු ඉල්ලීම පත්ව ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග කියා සිටියි.

පසුගිය ඔක්තෝම්බර් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් ඉවත්කර බහුතරය සොයාදෙන බවට පොරොන්දුව පිට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කර පසුව බහුතරය ලබාගැනීමට නොහැකිවීම නිසා නැවතත් රනිල්ට අගමැතිකම දෙන්නට වීමෙන් සිදුවූ ලැජ්ජාසහගත සති කීපයේ සිදුවීමෙන් පසු මහින්ද සහ සිරිසේන එතරම් හිත හොඳ නැත. මේ නිසා සිරිසේනගේ අගමැති අපේක්ෂාව සම්බන්ධයෙන් මහින්ද පසුවන්නේ දැඩිසේ කිපී බව පසුගිය දින කීපයේම සිදුවූ සිදුවිම් ගණනාවක් නිසා පෙනෙන්නට ඇත.

මහින්ද සුළඟේ නායකයන් කුණු මුල්ලට

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ ගැන සිතා පොදුජන පෙරමුණ ගන්නා තීරණ නිසා පක්ෂය තුල මෙන්ම පාක්ෂිකයා තුලත් දැඩිසේ විශ්වාසයභංග වන තැනට කටයුතු සිදුවී ඇත. එසේම පසුගිය කාලයක් තිස්සේ පොදුජන පෙරමුණ තුල ඉතා විශිෂ්ඨ කාර්යභාරයක් කළ විමල්,වාසු,දිනේෂ්,ගම්මන්පිල වැනි චරිත දෙවැනි මට්ටමට ඇද දමා ගෝඨාභය අපේක්ෂකයා බවට පත්වීමෙන් පසු ගෝඨා, නාමල්, ශිරන්ති, බැසිල් නැවතත් පොහොට්ටුව පවුලේ පක්ෂය බවට පත්කිරීම තුල පොදුජන පෙරමුණේ සුළු පක්ෂ දැඩිසේ කම්පනයට පත්ව ඇතිබව ප්‍රසිද්ධ රහසකි.

පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පවා මේ දිනවල සුබ පැතුම් පෝස්ටර් සහ කටවුට් වල උඩින්ම දකින මහින්ද-බැසිල්-ගෝඨා තිදෙනාගේ රාජපක්ෂ සන්නම් නාමය සම්බන්ධයෙන් යම්කිසි වික්ෂිප්තභාවයකට පත්ව තිබීම සාධාරණය. නැවතත් 2010-2015 කාලයේ සිදුවූවාක් අධික ලෙස පවුල්වාදී පීඩනයට පොහොට්ටුවේ බහුතරයක් නායකයන් අකමැති බව සත්‍යය.

මැදමුලනේ බූදලය

එක් පැත්තකින් හදිසියේම නැවත වතාවක් පොහොට්ටුව රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත්වෙන්නේ ගෝඨාගාමනයත් සමගය. පොදුජන පෙරමුණේ සමුළුවේ වේදිකා පසුබිම මැදමුලන වලව්ව සටහන් කිරීම ගෝඨාභයගේ මාධ්‍ය කණ්ඩායම හිතාමතාම සිදුකරන ලද සංකේතාත්මක ආක්‍රමණයක් බව පැහැදිලිය. කවුරුන් නැහුනද පක්ෂය රාජපක්ෂ පවුලේ පමණක් බව එයින් මනාව පෙන්වා දී  ඇත. එයින් පොහොට්ටුවාදීන් පවා නිරුත්තරවූ අතරම ගෝඨාගමනයේ රැස් දවසෙන් දෙකෙන් අඩුවන්නට එයද එක් හේතුවක් විය.

පසුගිය සමයේ පොහොට්ටුව නිසා යොවුන් මන්ත්‍රීවරුන් වන දිළුම්, කාංචන, ශානක,තේනුක, රමේෂ් වැනි චරිත යටගොස් නැවතත් නාමල්ලා,බැසිල්ලා,ශිරන්තිලා,චමල්ලා,ගෝඨාභයලා,මහින්දලා ම පොදුජන පෙරමුණත් මැදමුලන වලව්ව තුලට රැගෙනයාම තුලින් රනිල් එ.ජා.ප යට කළාක් මෙන්ම දෙවන පෙළ නැතිකිරීමක් ම බවට පෙරලී ඇත. ඒ නිසා පොහොට්ටුව තුල කළකිරීම් වර්ධනයවීම ජනාධිපතිවරණයට එතරම් හොඳ දෙයක් නොවේය..

එකම ගැලවුම්කාරයා

අනිත් අතින් නිදහස් පක්ෂය සමග සාකච්ඡාවලට එක් පැත්තකින් පෙරකී යොවුන් මන්ත්‍රීවරු ඇතුළුව වාසුලා,දිනේෂ්ලා නිහඬවම ආශිර්වාද කරන්නේ නිදහස් පක්ෂය ඉදිරියේ පොහොට්ටුවට දණ නමන්නට සිදුවීම නිසා පොහොට්ටුව තුල රාජපක්ෂ පවුල්වාදී ප්‍රවාහයට එරෙහිව සිරිසේන ජනාධිපතිවරයාට කළහැකි බලපෑම ප්‍රබල විය හැකි නිසාය. ඒ නිසා පොහොට්ටුව තුල බල තුලනයට නිදහස් පක්ෂය අතිශයින්ම තීරණාත්මක සාධකයක් බව මින් පෙරද ‘බුදදා විමසුමේ’ ලියා ඇත.

එක් පැත්තකින් පොදුජන පෙරමුණ විසින් නිදහස් පක්ෂය පසුගිය සමයේ දෙකේ කොලයට දමා කතා කළද අවසානයේ නිදහස් පක්ෂය සහ මෛත්‍රී ඉදිරියේ දණ නමන්නට වීම පොහොට්ටුවේ බිම් මට්ටමේ පාක්ෂිකයා මත ලැජ්ජාවක් හෝ අප්‍රසාදයක් මතුකල සිදුවීමක් වුවද, ඇත්ත වශයෙන්ම එය එක් පැත්තකින් කළු වළාවක දකින රිදී රේඛාවකි, නැත්නම් වෙස්වලාගත් ආශිර්වාදයකි. ඒ මැදමුලනේ බූදලයක් වන්නට යන පොදුජන පෙරමුණ එයින් ගලවාගත හැකිවන්නේ නිදහස් පක්ෂයට පමණක්වීම නිසාවෙන්ය.

කවීෂ්වර

More Articles