ගෝඨාභයගේ කටවුට් ගැලවෙද්දී සජිත්ගේ 'මාතර' රැළිය තීරණාත්මක වෙන හැටි (බුදදා විමසුම)

ගෝඨාභයගේ කටවුට් ගැලවෙද්දී සජිත්ගේ 'මාතර' රැළිය තීරණාත්මක වෙන හැටි (බුදදා විමසුම)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 11 වැනිදා සිය ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්කර රටපුරා කටවුට් ගසා, දන්සැල් පවත්වා, බෝධි පූජා පවත්වා සතියක් ගතවෙන්නටත් පෙර එම කටවුට් රටපුරා ගැලවෙමින් පවතී, ගෝඨා පිළිගැනීමට කියා රටපුරා සංවිධානය කරමින් තිබූ වැඩසටහන් ද එක දෙක අඩුවෙමින් යති, ගෝඨාභයගේ පුරවැසිභාවය නැවතත් ප්‍රශ්නයක් වෙමින් තිබෙන වකවානුවක සජිත් ප්‍රේමදාස එ.ජා.ප ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත්කිරීමේ දෙවනි ජන රැළිය එළඹෙන 23 වැනිදා මාතරදී පැවැත්වීමට නියමිතිය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම රැස්වීම සංවිධානය කරන අතර බදුල්ලේදී හරීන් ප්‍රනාන්දුගේ සංවිධාන ශක්තියෙන් පැවති ජනරැළියටත් වඩා වෙහෙසක් ගෙන එයටත් එහා ගිය ජනකායක් එක්රැස් කිරීමේ බලාපොරොත්තුවෙන් මංගල මේ සතිය පුරාම හිතවත් පාර්ශවයන් සමග එයට වෙහෙසෙමින් සිටින නමුත් තවමත් එ.ජා.ප නායකයා සජිත් වෙත කොළ එළියක් දල්වා නැත. ඒ නිසාම නොසන්සුන්ව සිටින එ.ජා.පයේ සජිත් හිතවාදීන් තවත් නොසන්සුන්වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන ගණනක් එක්ව ජාතික ජනතා පෙරමුණ හරහා අනුර කුමාර දිසානායක ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස පත්කිරීමය.

කන්දක් විලිලා වැදූ හූනු පැට්ටා

ජ.වි.පෙ තමන්ගේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ වසර 20 කට පසුවය, 1999 නන්දන ගුණතිලක මැතිවරණයට ඉදිරිපත් කර සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 4%ක් ලබාගත් පසුව ජ.වි.පෙ අපේක්ෂකයෙක් මෙවර ඉදිරිපත් වුනත් අවාසනාවකට ජ.වි.පෙට අද රතු පාට අමතකව ඇත. ජ.වි.පෙ අනන්‍යතාවය කැටිව තිබූ විප්ලවීය රතුපාට වෙනුවට රෝස පැහැයට හුරු දම්පැහැයට ජ.වි.පෙ සංක්‍රාන්තියට පැමිණ ඇත. 

සැබෑ ලෙසම දැන් 2019 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50% කට ආසන්න හෝ වැඩි පිරිසකට අයිතිය කිව හැකි අපේක්ෂකයන් දෙදෙනෙක් (එකතුවක් ලෙස) ඉදිරිපත්වී ඇත. ඒ නිසා දැන් එ.ජා.ප ය ඉදිරියේ ඇති ගැටළුව ඉතිරි 50%න් වැඩි කොටසකට උරුමකම් කිව හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? නැත්නම් පක්ෂයද පරාජයට පත්කර, විපක්ෂ නායක කමට යළිත් පසුබසින අපේක්ෂකයෙක් පත්කරනවාද යන ගැටළුවය. 

රනිල්ගේ වට වංගු

තත්වය එවැනි තීරණාත්මක තැනක තිබියදී එ.ජා.පයේ මහජන නියෝජිතයින් පක්ෂ නායකයාගේ තීරණය කුමක් වුවත් එයට ඒකමතිකව කැමතිවන තැනට බලහත්කාරයෙක් පත්කිරීමේ උත්සහයක රනිල් වික්‍රමසිංහ පත්ව ඇත. හරියටම තමන්ගේ මාමා වූ ජේ.ආර් දින සඳහන් නොකළ අස්වීමේ ලිපියකට එ.ජා.ප මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගත්තා සේම රනිල්ද එවැනි කොළ සූත්තරවලට අත ගසා ඇත. එහෙත් බහුතරයක් පාර්ලිමේන්තු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් පවා සජිත් සමග සිටින මොහොතක රනිල් කෙමෙන් කෙමෙන් බිත්තියයට හේත්තු වෙමින් ඇත. දැන් ඇත්තේ භයානකම අවධියයි, බිත්තියට හේත්තුවන රනිල් යනු භයානක තරහා පිරිමහන්නෙක් බවට සැකයක් නැත.

විශේෂයෙන්ම රනිල් ඉදිරියේ ඇත්තේ තමන්ගේ දේශපාලන ඉරණමේ අවසන් අත්සන යොදන්නට ඇති ලියවිල්ලකි. යම් හෙයකින් සජිත්ට අපේක්ෂකත්වය දී ඔහු ජයගත්තද, පරාජයට පත්වූවද නිසැකවම පක්ෂ නායක කම සජිත්ට පවරන්නට සිදුවෙනු ඇත. එසේ වුවහොත් රනිල් යනු ඉන්පසු චන්ද්‍රිකාටත් එහා අවලංගු කාසියක් වනු ඇත. ඒ නිසා රනිල්ට දැන් රැවුල සහ කැඳ යන දෙකම බේරාගන්නට අමාරු තැනකට පැමිණ ඇත. සිරිකොතේ පාරට කාපට් දමා එදා මහින්ද රනිල්ව බේරාගත්තද අද රනිල් සිටින්නේ මහින්දට බේරගත හැකි තැනක නොවේය. අනිත් පැත්තෙන් මහින්දද සිටින්නේ රනිල්ටත් වඩා අමාරු තැනකය. ගෝඨාට අපේක්ෂකත්වය නොලැබුණ හොත් හදිස්සියේම ශිරන්ති අපේක්ෂිකාව කිරීමේ සැලැස්ම කලින්ම ලීක්වීම මහින්දට වැදුණු මරු පහරකි. දැන් පොහොට්ටු පාක්ෂිකයින් සිටින්නේ ශිරන්ති අපේක්ෂිකාව වුවහොත් ඡන්දය නොදා සිටින තැනකය. එහොම වුනොත් පොහොට්ටුවට සිදුවන්නේ අල්ලපු අත්ත මෙන්ම පයගහපු අත්තද නැතිවෙන තැනකය.

මහින්දටත් ප්‍රශ්න

අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම නිදහස් පක්ෂයේ ඡන්ද ලන්සුව සිහිපත් කරමින් අගමැති තනතුරු ඉල්ලා සිටීම තුල මහින්ද රාජපක්ෂ නැවතත් දිගටම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරේම රැඳී සිටින්නට කිසිසේත්ම කැමති නැත. ඒ නිසා මහින්දට දැන් ඇත්තේ රනිල්ටත් වඩා උභතකෝටික ප්‍රශ්න මාලාවකි.

ඒ අතරේ සජිත් පිළේ සජිත්ට ඇති විශාලතම ශක්තිය මෙන්ම රනිල්ට ඇති බරපතලම හිත්වේදනාව වන මංගලගේ 23 දා මාතරදී පැවැත්වීමට නියමිත 'සජිත් රැල්ල' ජනරැළිය තීරණාත්මක එකක් වන්නේ කාරණා කීපයක් නිසාය. 94 පොදු පෙරමුණෙන් චන්ද්‍රිකා ජනපති කරන්නට මංගල මාතර උයන්වත්තේ පැවැත්වූ ජන රැළිය විශාල දායකත්වයක් සැපයීය. චන්ද්‍රිකාගේ මුහුණට මුලින්ම මල් හිනාවක් එක්කල ජන රැළිය පවත්වන්නට හැකිවුණේ එදා චන්ද්‍රිකාට අතිශය හිතවත්වූ මංගලයට, එසේම රනිල්ට 'බෑ' පෝස්ටරය රටපුරාම අලවා රනිල් දුටුවිට ඕනෑම කෙනෙක්ට රනිල්ට බෑ යන සෘණාත්මක සිතිවිල්ල ඇතිකිරීමේ වැඩපිළිවෙල මංගල පටන්ගත්තේත් මාතරින්ය. අන්තිමට එසේ කඩා බිඳදැමූ රනිල්ගේ පෞර්ශයය මංගලටවත් පසුකලෙක ගොඩනගන්නට බැරිවිය.

තීරණාත්මක මාතර

2004 සන්ධාන ආණ්ඩුව බිහිකරන්නට මෙන්ම 2005 මහින්ද දිනවන්නටද මංගල මාතර පැවැත්වූ අතිවිශාල ජනරැළි ඉතා ඉහළ දායකත්වයක් දැක්වීය. 2005 මාතර මහින්දගේ රැළියෙන් පසු ලංකාදීප පුවත්පතේ පොල්ගෙඩි අකුරෙන් පලවූයේ 'මහින්දට මාතරින් ජන ගඟක්' යනුවෙන්ය. එසේම 2015 මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් මුලින්ම පැවති විශාලතම ජනරැළිය පැවැත්වූයේත් මාතරය, එසේම මෛත්‍රී භාවනාව වැනි වැඩසටහන් පවත්වා පවතින රැල්ල වෙනත් අතකට යොමුකලේ මාතරින්ය. ඒ නිසා මෙවරත් හදිස්සියේම මංගල මාතර රැස්වීමක් සජිත් වෙනුවෙන් සූදානම් කරන්නේ නිකම්ම නොවේය. මංගල නිල බලා වාඩි වෙන පුටුවත්, ගහන ගේමත් ලේසි පහසු එකක් නොවන බව බිම් මට්ටමේ ජනතාවටත් වඩා ඉහළ තළයේ දේශපාලනඥයන් හොඳාකාරව දනී.

තවමත් ජනාධිපතිවරණ සටන විවෘතය, මල්ලවයන් හරිහැටි පැහැදිලි නැතත් සටන ඉතා තීරණාත්මක බව නම් පැහැදිලිය. සටන තීරණාත්මක වෙද්දී සටන් කරන විදිහද තීරණාත්මකය. අන්න ඒ නිසා ගෝඨාභයගේ කටවුට් ගැලවීමත්, සජිත්ගේ කොඩි ලෙලදීමත් ලෙහෙසියෙන් පහසුවෙන් පැත්තකට දැමිය හැකි සාධක නොවන බවනම් ලියා තැබිය යුතුය.

කවීෂ්වර