නොවැ. 16 ඇසිඞ් පරීක්ෂාව (විමලනාත් වීරරත්න)

නොවැ. 16 ඇසිඞ් පරීක්ෂාව (විමලනාත් වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන කමල් ගුණරත්න පසුගිය දිනක කීවේ නොවැ. 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය ඇසිඞ් පරීක්ෂාවක් (Acid test) බවය. ඇසිඞ් පරීක්ෂාවකින් පසු කිසිවක් ඉතිරි නොවන බවද හෙතෙම කීවේය. ඔහු කියන්නට උත්සාහ කළේ නොවැ. 16 වැනිදාට ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් යළි අවස්ථාවක් නොඑළැඹෙන බව විය හැකිය. අනෙක් අතට රාජපක්ෂ පරපුරේ අහිංසකයා ලෙස තෙමේම හඳුන්වා ගන්නා ගෝඨාභය ජනාධිපති වී, ආරක්ෂක ලේකම් ධුරය දරන ලද සමයේ සේ තද තීන්දු ගතහොත් ඒ සියල්ලම මේ සමාජය මත ඇසිඞ් පරීක්ෂා බවට පත්වනු ඇත.

ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ සම්බන්ධයෙන් මෙන්ම රතුපස්වල ඇතුළු තවත් ගෝඨාභයට චෝදනා එල්ල වන සිදුවීම් ගණනාවකදී ඒ වින්දිතයන් කාටත් සිදුවූයේ ඇසිඞ් පරීක්ෂාවකට ලක්වන්නටය. ඇසිඞ් පරීක්ෂාවකට ලක්වූවන් ආපසු ඒමක් නැත.

නිදහස සහ ප්‍රතිරෝධය

ගෝඨාභය ප්‍රමුඛ පිරිස තමන්ට එදිරිව එල්ල වන සෑම ප්‍රතිරෝධයක් දෙසම බලන්නේ ඒවා සැණින් දූරිභූත කළ යුතුය යන ආකල්පයෙනි. ගෝඨාභයට ද්විත්ව පුරවැසිකම ලැබීමේ ක්‍රමවේදය ප්‍රශ්න කළ වියන්ගොඩ හා තේනුවර යන දෙදෙනා ද්‍රෝහීන් ලෙස හැඳින්වීමට ඔවුහු පසුබට නොවූහ. මේ මොහොතේදීත් ගෝඨාභය හා ඔහුගේ සහචරයන් ලිබරල් නිදහස අපේක්ෂා කරන්නවුන් කෙරෙහි එන්ජීඕ බත් බැලයන් යන චෝදනාව නගති. ගෝඨාභයගේ වේදිකාවෙන් නැගෙන එන්ජීඕ මැසිවිල්ල සැබෑවක් වුවත් ඒ කවුරුත් හඬ නගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවට සමාජයේ මැදහත් ජනයා අතර තිර මතයක් තිබේ.

එය ගෝඨාභයට හෝ ඔහුගේ අනුගාමිකයන්ට විෂය නොවන්නේ ඔහු සමග සිටින පිරිස් අර්ධ ෆැසිස්ට් පාලනයකට එකඟ වී සිටින නිසා විය හැකිය. එය ඔවුන්ගේ කැමැත්තය. පැහැදිලිවම එවැනි මානව විරෝධී ක්‍රමයකට නිදහස අගයන සිවිල් පුරවැසියන් විරුද්ධ විය යුතුය. 2015දී එවැනි සැලකිය යුතු පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවක් වෙනුවෙන් කැපවූයේ පොහොර නොමිලේ ගැනීමට හෝ වෙනත් වරප්‍රසාද ලබන්නට නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙනි. ගෝඨාභයලා එදා සේ ම අදටත් ආමන්ත්‍රණය කරන්නේ දැන උගත්, නිදහස් ජන සමාජයකට නොවන බව පැහැදිලිය. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ සහනාධාර ඉල්ලන හැමදාම සුබ සාධන දිවි පැවැත්මක් බලාපොරොත්තු වන ජනතාවටය. ඉදින් මේ තත්ත්වය වෙනස් කළ යුතු නැද්ද?

වගකීම සහ ගාය

තේනුවර මහතා කියූ රණවිරු ගාය යන වචනයටත් ගෝඨාභයගේ සහචර කමල් ගුණරත්න කෝප වී තිබුණි. ඔහු පසුදිනම කීවේ ප්‍රභාකරන් පරාජය කළේ රණවිරු ගාය තුළින් කියාය. එමෙන්ම අද යුද්ධයක් නැති නිදහසක් සියලු ජනයා භුක්ති විඳින්නේ රණවිරු ගාය නිසා කියාය. රණවිරු ගායෙන් වැඩ ගන්නා එවැනි දේවල් තිබිය හැකිය. එහෙත් කමල්ට අප කිවයුත්තේ පොදුජන පෙරමුණේ සමහරුන්ට ඇති රණවිරු ගාය දේශපාලනයට සම්බන්ධ කර නොගත යුතු බවය. මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයේදී තොරොම්බල් කළේ යුද ජයග්‍රහණයයි.

එහි යම් සාධාරණත්වයක් තිබුණත්, දේශපාලනයට අදාළ කරගත යුත්තේ සමාජ වගකීම මිස ගාය නොවේ. වගකීම ගායක් බවට පත්වීමේ වරදක් නැතත්, ගාය එකම වගකීම බවට හරවා ගැනීම භයානකය. මහින්දලාට 2010දී සේ ම 2015දීත් සිදුවූයේ එයයි. 2015දී ඔවුන් රණවිරු ගාය ප්‍රදර්ශනය කිරීමට තැත් කළත් ඔවුන්ගේ දූෂණ ගාය රණවිරු ගාය ඉක්මවා තිබුණු නිසා පරාජය වැලඳ ගැනීමට සිදුවිය. රණවිරු ගායට එක්වූ දූෂණ ගාය පරාජය කළ යුතු යැයි කියූ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් එවර ඉහළින් දැල්විණි. අදත් රණවිරු ගාය ගෝඨාභයගේ වේදිකාවේ තොරොම්බල් කරනු ඇසේ. රණවිරු ගායෙන් සියල්ල තීරණය කරන, එය කෝදුවක් කරගත් සමාජයක් ලංකාවට වුවමනා නැති බව වේලාසනින්ම පීදෙන්නට හදන කමල් වැනි අයට කිව යුතුය.

කවන්ධ දෙකක්

පොදුජන පෙරමුණ යනු ශ්‍රීලනිපය ආත්ම කොටගත් තවත් එබඳුම ව්‍යාජ පදනම් විරහිත ඇටවුමකි. ශ්‍රීලනිපයේ තිබෙන පටු හා නායකයා මත පක්ෂයේ ප්‍රතිපත්ති තීරණය කැරෙන මුග්ධ තත්ත්වයෙන් මිදෙන්නට පොදුජන පෙරමුණට නොහැකිය. බණ්ඩාරනායක නැතුව ශ්‍රීලනිපයට වසර 68ක් දුවන්නට හැකි වුවත් රාජපක්ෂලා නැතුව පොහොට්ටුවට මාස කිහිපයක්වත් අල්ලාගෙන සිටිය නොහැකිය. එය ඒ තරම් පදනම් විරහිත අන්තවාදී එකතුවකි. ශ්‍රීලනිපය කවන්ධයක් නම් පොදු පෙරමුණත් කවන්ධයක් මිස අනෙකක් නොවේ.

ශ්‍රීලනිපයට ඇතැම් නායකයන් මගින් යම් ළතෙත් බවක් ලැබුණත් පොදු ජන පෙරමුණ හිසක් පමණක් නොව, පපුවකුත් නැති පක්ෂයක් බව පෙනේ. ඒ වටා රොද බැඳ සිටින පුද්ගලයන් කියන අඥාන වල්පල්වලින් ඒ බව මනාව පසක් කරගත හැකිය. ඒ වටා රොද බැඳ සිටින වම ඇතුළු දේශපාලන අනාථයන්ගේ තත්ත්වයත් බෙහෙවින්ම ඛේදනීයය. හිට්ලර්ව පවා වැලඳ ගත හැකි ඩිව් ගුණසේකරලා වැනි දුර්වල කොමියුනිස්ට් නායකයන් මේ සමාජයට කියන්නේ තමන් අනුගමනය කරන හිවල් ප්‍රතිපත්තිවල නාමයෙන් ජනතාවටත් දණ ගසාගෙන සිටින්නටය.

හොඳ කැඳ

පොදු ජන පෙරමුණේ බොහෝ තකතීරු කතා කියන්නන් අතර වැදගත් දෙයක් කියන්නට උත්සාහ දරන්නේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පමණි. එහෙත් ඔහුගේ ඉතිහාසය සාමාන්‍ය චෝදනා නොව මිනීමැරුම්වලට අනුබල දුන් බවට කැරෙන චෝදනා රැසකින් යුතුය. ඒ සියල්ල යටපත් කරගෙන ඉතා බුද්ධිමත් ලෙස බාහිරට පෙනෙන ආකාරයෙන් බැටළු හමක් පොරවා ගැනීමට අද වනවිට ගෝඨාභය සමත් වී සිටියි.

බුද්ධාගමේදැයි නිශ්චිතවම කිව නොහැකි ඔහුට ආවඩන ස්වාමීන් වහන්සේලා ගෝඨාභයට ඇති ප්‍රාණඝාතය පිළිබඳ චෝදනා ගැන මුණිවත රකිති. කන්තෝරුවට යනවිට, සතුන් මරන අවියකින් ඝාතනය කිරීම හා කන්තෝරුවෙන් මගට කැඳවා අතුරුදන් කිරීම ගැන බුදුන් කුමක් දෙසා වදාරා ඇත්දැයි මහැදුරු මැදගොඩ අභයතිස්සයෝවත් නොපවසත්.

පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පරණ පව් නැත්නම් ඔහු වේදිකාවේදී මතු කරන ඇතැම් වැදගත් අදහස් හා තිරසාර ලක්ෂණ හේතුවෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැදගත්ම ජයග්‍රහණය ලබන්නට ඔහුට හැකිව ඇතැයි සිතිය හැකිය. ඔහු උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුවකදී කීවේ තීරණ ගත හැකි දුර දැක්මක් ඇති අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට නැති බවය. එම නිසා ඇමතිවරුන් පවා තීරණ ගැනීමට පසුබට වන බව කී හෙතෙම යුද්ධය ජයගැනීමට තමා මහින්ද රාජපක්ෂට උපදෙස් දුන් ආකාරයද කීවේය.

ගෝඨා මේ සමගම ලංකාවේ දේශපාලන ක්‍රමයේ වරදක් තිබෙන බව නොකියයි. ඔහුට ඉක්මන් තීරණ ගතහැකි වූයේ ආරක්ෂක ලේකම්වීම හෝ යුද්ධය ගැන යමක් දත් හමුදා නිලධාරියකු වීම නිසා නොවේ. ඔහු ජනපතිගේ සහෝදරයා වීම නිසාය. සමහර ඇමතිවරුන් හොරකම් කරමින් කුසීත රාජකාරි දිවියක් ගත කරන බව සැබෑවකි. එහෙත් ඔවුන්ට ගෝඨාභය හිතන ආකාරයෙන් සියලු බැරියර් කඩාගෙන වැඩ කරන්නට මේ ක්‍රමය තුළින් අවකාශයක් නොදෙයි. මෙම ප්‍රශ්න මගහැර විෂය පිළිබඳව කතා කිරීම ගෝඨාභය තම චෝදනා සඟවාගෙන කතා කිරීම හා සමානය.

ගෝඨාභය හැමවිටම ශූර ලෙස සිය පරණ පව් සඟවාගෙන දේශපාලනය හා සංවර්ධන ප්‍රතිපත්ති වියුක්තව ගෙන කතා කිරීම ගැන කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත. ඔහු හිසක් සහ දෙපයක් අහිමි කඳක් පමණක් ඇති මිනිසකු ලෙස තමාගේ කඳ ගැන කතා කරයි. ඔහුගේ අතීතය නොදන්නා හෝ නොසලකා හරින කෙනකුට කඳ හරි අපූරුය. සැබැවින්ම ගෝඨාභයට සිය චෝදනාවලිය ගැන ස්වයං විවේචනයක් කළ නොහැකිද? එසේ වුවහොත් සමහරවිට ගෝඨාගේ දේශපාලන සතුරන් පවා ඔහු දෙස අලුත් ඇසකින් බලන්නට පුළුවන.

ගෝඨාභය වටා දැනට සිටින සමහර කපටි හිවලුන්ට වඩා අද ඔහුගේ නිර් ප්‍රජාතන්ත්‍රවාදය යන හේතුව යටතේ පමණක් විරුද්ධ වන පිරිස් ගෝඨාගේ සැබෑ මිතුරන් වන්නටත් බැරි නැත. දක්ෂතා පමණක් සලකා ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් පාවා දෙන්නට නොරිසි මිනිසුන් ලක්වැසියන් අතර සිටින බව ගෝඨාභයට කිව යුතුය. ගෝඨාභය ඔබ කැමති නම් වෙනස් වෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉන් විතැන් නොවන බව අප ඔබට කියමු.

ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස ගැන වුවමනාවක් නැති පාලකයන්ගෙන් රටට සංවර්ධනයක්ද අත් නොවන බව ගෝඨාගේ ජනතාවද තේරුම් ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයත් සංවර්ධනයත් එකට ගමන් කරන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු රනිල් වික්‍රමසිංහගේ හා මෛත්‍රීපාල සිරිසේනගේ මොඩලයේ රස්තියාදුකාර තත්ත්වයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතිගරුකව හා යුක්තිගරුකව වැඩ කෙරෙන අතරේ රටේ පුරවැසියන් සහජීවනයෙන් ජීවිත ගත කිරීමය. ඇසිඞ් පරීක්ෂාවලින් එම තත්ත්වය ඇති කළ නොහැකි බව විශ්‍රාම ගියත් ගාය ඇති හමුදා නිලධාරීන්ගේ සිට රටේ ලොකු පොඩි හැම එකාම දත යුතුය.

(ravaya.lk)