මහින්ද ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී - සිරිසේන අගමැති - එතකොට ගෝඨාභය? (බුදදා විමසුම)

මහින්ද ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී - සිරිසේන අගමැති - එතකොට ගෝඨාභය? (බුදදා විමසුම)

‘බුදදා විමසුම’ ට පහුගිය ටිකේම සෑහෙන්න ප්‍රතිචාරය, ගෝඨාභයට, සජිත්ට, අනුරට ඇති කික් එකටත් වඩා කික් එකක් බුදදා විමසුම කියවන පාඨකයන් විසින් ලබාදෙමින් සිටීම එක පැත්තකින් ලියුම්කරුට වඩාත් උත්තේජනයක් වන අතර දේශපාලන සූස්ති ය යනු ලංකාවේ දේශපාලනයේ ඇති අපිට හොඳින් පෙනුනත් නොදැක්කා වගේ සිටින හෙළුව දකින එකය. ඒ නිසා එලෙස දකින්නට කැමති, අදහස් දක්වන්නට කැමති පාඨකයෝ ‘බුදදා විමසුම’ කියවන්නට සහ කියවා නිකන් නොසිට ගල් සහ මල් මෙන්ම යෝජනාද එල්ල කරන්නට පෙළඹීම අතිශයින්ම ‘කික්’ එකක් බවද ලියා තැබිය යුතුය.

ගෝඨාභය දිනුවොත්!

ඉහත මාතෘකාවේ ගෝඨාභය යන්නට ප්‍රශ්නාර්ථයක් යොදා තිබුණත් ඊට පෙර ඇති උපකල්පන දෙකම සත්‍යාපනය වන්නට නම් ගෝඨාභය ජනාධිපති විය යුතුමය. ලියුම්කරු කියන්නේද ගෝඨාභය ලංකාවේ ජනාධිපතිවිය යුතු බවය. ලංකා ඉතිහාසයේ ලංකාව (භූමිය නොව ජනතාව) මෙන්ම ගෝඨාභයද පාඩමක් ඉගනගැනීමට නම් ජනාධිපති විය යුතුමය. අනෙක් පැත්තෙන් සජිත් වැරදිලාවත් ජනාධිපති වුවහොත් (සැබෑ ලෙසම අඩුම තරමේ අපේක්ෂකයා වුවහොත්) එයින්ද ලංකාව මෙන්ම සජිත් ද සෑහෙන්න ලොකු පාඩමක් ඉගනගනු ඇත. දැනටමත් දඟලන ආර්යාවන් නිසාද ලංකාවට අමුතුව පාඩමක් නැවත නැවතත් ඉගනගන්නට ලැබෙනු ඇත.

ගෝඨා ජනාධිපති වුවහොත් අගමැති වෙන්නේ මහින්ද බවට අදාල පාඨය යනු පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට කණට මීපැණි වත්කරන වදනක් ය. එය නැවත නැවතත් ඇසෙන වාරයක් පාසා පාක්ෂිකයන් කික් වීමට සාධාරණ හේතු ගණනාවක් ඇත. එකක් මහින්ද යනු මහින්දවාදීන්ට දෙයියෙක් ය. 2015 ඒ දෙයියා ජනේලයට වැඩිය තැන සිට දේශපාලන කුණූ කූඩයට වැටෙන්නට නොදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කළෙත් ඒ පාක්ෂිකයාමය. විපක්ෂ නායක වන්නේද ඒ පාක්ෂිකයන්ගේ අපේක්ෂාවෙන්ය. ඒ නිසා නැවතත් ජනපති පුටුවට පත්කරගන්නට බැරි මහින්ද අගමැති කරගෙන හෝ කරතබාගෙන යාම මහින්දවාදීන්ගේ අපේක්ෂාවය. ඒ අපේක්ෂාවට ‘සාදු මල් පිපියන් සැමදා’ කියනවා ඇරෙන්නට බකට් දමන්නට කිසිඳු වුවමනාවක් නැත. මහින්දගේ අවුල් ඇත, ඒත් ත්‍රස්තවාදී අවුලෙන් රට බේරගන්නට මහින්ද ගැසූ ගේම ඉතිහාසගතවන වැඩකි. ඒ නිසා රට එක තැනකදී මහින්දට ණය ය. ඒ නිසා මහින්ද අගමැති වෙනවාට අපේ කිසිඳු අකමැත්තක් නැත.

ඡන්ද මල්ලේ හිල්

එහෙත් එක පැත්තකින් මහින්දට අගමැති වෙන්නනම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුය. එකක් නම් ගෝඨාභය ජනාධිපති විය යුතුය. අනිත් එක නම් අගමැති තනතුරේ වේකන්සියට වෙනත් ප්‍රබල නම් ඉදිරිපත් නොවිය යුතුය. පළවෙනි කොන්දේසිය ඉටුවෙන්නට නම් එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්නව ප්‍රකාශවිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ 65 කට වැඩි ප්‍රමාණයක් ගෝඨාභය ලබාගත යුතුය. ඕනෑම දේශපාලනය ගැන අබමල් රේණුවක විශ්ලේෂණාත්මක දැනුමක් සහ නාඩි වැටීමක් ඇති පුද්ගලයෙක්ට පේන්නට තිබෙන දේ නම් ගෝඨාභයට එතරම් ඡන්ද මල්ලක් නැත. ගෝඨාගේ ඡන්ද මල්ල ඇත්තේ ලක්ෂ පනහටත් අඩුවෙන්ය. ලියුම්කරු මේ ලියන්නේ ගල් පැලෙන බොරු බවට රෙදි උස්සගෙන කාට වුනත් දිව ආ හැකිය..එහෙත් මේ කරුණ ටිකක් ඔළුව පාවිච්චි කර සිතිය යුත්තකි.

ඒ නිසා ගෝඨාභයට ලක්ෂ 65 පනින්න නම් අනිවාර්යයෙන්ම නිදහස් පක්ෂයේ ඡන්ද මල්ල තමන් සන්තකයට ගත යුතුය. දැන් ඉතිරිව ඇති නිදහස් පක්ෂයේ ඡන්ද මල්ල ලක්ෂ 5-8 අතර විය හැකිය. ඇතැම්විට එය ලක්ෂ 10කටත් ආසන්න විය හැකිය. මේ ඉතිරිවී ඇති ඡන්ද මල්ල යනු මහින්ද ලඟට යන්නට අකමැති හෝ නිදහස් පක්ෂයේ ඉතිරිව ඇති නියෝජිතයන්ගේ ජන්ද ගොඩ බවට සැකයක් නැත. එසේම මේ ඡන්ද කොටස ලෙහෙසියෙන් පොහොට්ටුවට යන කොටසක්ද නොවේය. යනවානම් යන්නේ පහුගිය පළාත් පාලන ඡන්දය කාලෙදීමය. ඒ නිසා මේ ඡන්ද මල්ල වගේම තවත් මලු කිහිපයක් නැතිව ගෝඨාභයට ගොඩයාමක් නැත. මේ දිනවල ගෝඨා සහ මහින්ද පන්සල් ගානේ, පල්ලි ගානේ, කෝවිල් ගානේ යන්නේත්, උතුරු නැගෙනහිර පොලිස් බලතල ගැන පවා කතා කරන්නේත් මේ අඩුපාඩු ඡන්ද ලක්ෂ දහය පහළොව ගැන සොවින් ය. නැත්නම් ගෝඨාභය පාක්ෂිකයින් ඉතා පහසුවෙන් පාරම්බාන ආකාරයට ගෝඨාභයට ඡන්ද ලක්ෂ 75ක බලයක් ඇතිනම් අමුතුවෙන් මහන්සිවී තමන්ගේ සිංහල-බෞද්ධ බහුතරයට ඌයියා කරන්නේ ඇයි ද? යන්න සිතාබලා ඡන්ද ගොඩ ගැන නිරවද්‍ය අවබෝධයක් ලැබිය යුතුය.

මෑන් ඔෆ් ද මැච් සිරිසේන?

මෙන්න මේ කරුණ නිසා සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ නිදහස් පක්ෂය ගෝඨාභයට සහ මහින්ද ඇතුවත් බැරි නැතිවත් බැරි තැනකට ඇවිත් ඇත. මේ ගැන හොඳින්ම දන්නා සිරිසේන මුල සිටම කලේ එක්කෝ පොහොට්ටුවත් එක්ක එකතුවී නැවත ජනාධිපති වෙන්නට ට්‍රයි කිරීමය. එය හරියන පාටක් නැති තැන සති කිහිපයක හිටන් සිරිසේන ඔට්ටු වෙන්නේ පොහොට්ටුවේ සහයෙන් අගමැති වෙන්නටය. එයට ඔහු ඇපයට තබා ඇත්තේ නිදහස් පක්ෂයේ ඡන්ද මල්ලය. ඒ මල්ලෙන් සාම්පල් එකක් පෙන්වීමේ අවශ්‍යතාවය නිසා නිදහස් පක්ෂයේ සංවත්සර සම්මේලනයද බර දමා කලේය.

සමුළුව අතරේ සිරිසේන ජනපතිවරයා දැනටමත් අගැමති මුට්ටිය දමා අවසන් බවට සනාථ කලේ ‘2020 ජනාධිපතිට වඩා බලවත් අගමැති’ යන ප්‍රකාශයෙන් සහ ‘2020 අලුත් ආණ්ඩුව පිහිටවන්නේ තමන් ඇතුළු සන්ධානයක්’ බව පෙන්වමින්ය. 2020 අගමැති වන්නට හීන බලාගෙන සිටින මහින්ද ගැන සිතා සිරිසේන කිසිසේත්ම මෙවැනි ප්‍රකාශයක් නොකරන බව සිරිසේනගේ ගෙදර බල්ලාගේ සිට හන්දියේ කඩේ ලඟ වාත වෙන ගුණේරිස් පවා දන්නා කරුණකි. එසේම 2020 ඒකාබද්ධ ආණ්ඩුවක් ගැන සිරිසේන කියන ප්‍රකාශයේ සරලම අර්ථය මෙලෙසින් ලියා දැක්විය හැකිය.

‘ගෝඨාභයට ජනාධිපති වෙන්න අවශ්‍ය ඡන්ද ගොඩට නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ එකතු කරන්නට නම් මට අගමැති කම දිය යුතුයි.. එසේ එකඟවුවහොත් අලුත් ආණ්ඩුවක් හදන්නට එකතු විය හැකියි’

සිරිසේනගේ ප්‍රකාශය සරලම මෙලෙසය. නිමල් සිරිපාලගේ කටින්ද ‘නිදහස් පක්ෂයේ හදවතට සමීප පක්ෂය’ ලෙස කිව්වේ යූ.එන්.පී ය හෝ ජ.වි.පෙ ගැන නොව පොහොට්ටුව ගැන බව කැට තබා සහතික විය හැකිය. එසේ නම් දැන් සිරිසේන එන්නේ මොකාටද කියා පැහැදිලිය. මහින්දවාදීන්ට අපහැදිලිනම් නැවතත් මුල සිට මෙය කියවා එන්නට ආරාධනා කරමි. දැන් ගෝඨාභයට සහ මහින්දට ඇත්තේ රැවුලයි කැඳයි අතර ප්‍රශ්නයකි. රැවුල බේරාගන්නට නම් කැඳ නොබී සිටිය යුතුය, කැඳ නොබී සිටියහොත් බඩගින්නේ මැරෙන්නට සිදුවේ. ඒ නිසා ඉතිරිව ඇති විකල්පය

‘සිරිසේනට අගමැති කම දී නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ එකතුකරගෙන ගෝඨාභය කෙසේ හෝ ජනපති වීමය’

මහින්දගේ ඉරණම

එතකොට අගමැති මමයි යනුවෙන් ප්‍රකාශ කර අගමැති සිහිනය මතින් 2015 වේදනාවන් දුරකරගන්නට අපේක්ෂා කරමින් මැජික් බෝල මිරිකමින්, තිරුපති වෙත බාරහාර වෙමින් සිටින මහින්ද රාජපක්ෂට අත්වන ඉරණම කුමක්ද? නැවත වතාවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයම පමණක්ද? තිත්ත වුනත් ඇත්ත එයයි. වෙන්න යන දේද එයයි, මහින්ද මේ මොහොතේ දඟලමින් සිටින්නේ මේ අවුලෙන් ගැලවීමටය, නමුත් තව තව පැටලෙනවා මිස අවුල ලිහෙන්නේ නැත.

ඒ නිසා පොහොට්ටුවේ ජනාධිපතිවරණ සූත්‍රය හිතූ තරම් ලෙහෙසි පහසු නැත. එසේ වීමට ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ප්‍රබලත්වයටත් වඩා සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු නිදහස් පක්ෂය හෙවත් තමන්ගේ පරණ මහගෙදර පෙරේත බලපෑම ගැටළුවක් වී ඇත. ඒ නිසා සිරිසේන හිස් අතින් ජනපති තනතුරෙන් ඉවත්වී නොයන බවනම් සහතිකය. එයට හේතුව මහජන ඡන්දයෙන් පත්වී දෙවැනි ධූරකාලය සම්පූර්ණ කරගත නොහැකිවූ විධායක ජනපතිවරයෙක් වී  නම් ඒ රණසිංහ ප්‍රේමදාස පමණි. එසේ වූයේදී ඔහු පළමු වාරය අතරමැදදී ඝාතනයට ලක්වීම නිසාය. ඒ නිසා ඡන්දෙන් දිනා පළමු වටයෙන්ම නොකවුට් වූ පළම ජනාධිපති යන කැත කාඩ් එක ගසා ගැනීමට සිරිසේන නැමැති පටු දර්ශනයක් ඇති නායකයා කිසිසේත්ම අකමැති බව සහතිකය.

බ්ලැක්මේල් දේශපාලනය

ඒ නිසා එක්කෝ සිරිසේන නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ ඇපයට තබා අගමැති විය යුතුය, එය වලක්වන්නට නම් මහින්දලාට කළ හැක්කේ එස්.බී සහ ඩිලාන් බෑවා මෙන් නිදහස් පක්ෂයේ තවත් පිරිස් බාගැනීමය. එහෙත් එස්.බී සහ ඩිලාන් වැනි ලැජ්ජාවක් මයිල් ගහවත් නැති උදවිය මිස වෙනත් අය මේ මොහොතේ පොහොට්ටුව තුලට නොයන්නේ නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවට පනින උදවියට සිදුවන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලාටද යටත්වී සිටින්නට නිසාය.

නැත්නම් සිරිසේන ජනාධිපතිවරයා කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යන බව සනාථ කරමින් ගෝඨා පරාජය කරන වැඩ පිළිවෙලක් ලෙස එක්කෝ වෙනම තරඟ කිරීමට නැත්නම් එ.ජා.ප යේ අපේක්ෂකයාට සෘජුව හෝ වක්‍රව සහය දීමය. මේ දෙවැනි විකල්පය සිදුවෙන්නට ඇති ඉඩකඩ ඉතාම අවමය. නමුත් මේ මොහොතේ සිරිසේන යනු අතිශය තීරණාත්මක සාධකයක් බව පමණක් මෙහිලා ලියා තැබිය යුතුය. සෙස්ස පසුවට..

(කවීෂ්වර)

More Articles