ජනවාරිවරුන් සොයන මැන්ඩෙලා

ජනවාරිවරුන් සොයන මැන්ඩෙලා

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

එක්සත් ජාතික පක්ෂය මුල්ව පෙළගැසුණ සංධානයට එරෙහිව සජිත් මලික් අජිත් කල්ලිය හැසිරෙන ආකාරය දෙස රටම විමසිල්ලෙන් බලා සිටිති. යෝජිත සන්ධානයේ මහලේකම් ධූරය ඉල්ලා සිටීමෙන් සජිත්ගේද, නව සන්ධානයේ නිල ලිපිනය ගැන කළ ප්‍රකාශයෙන් අජිත් පෙරේරාගේද දේශපාලන දැනුම තේරුම්ගත හැකිය. එජාපයට තනිව රට ජයගත හැකි නම් සංධාන අවශ්‍ය නොවේ. සන්ධානයක සකල වාසිය පළමුව ලැබෙන්නේ ජනතාවට හෝ රටටය. දෙවනුව ප්‍රධාන පක්ෂයටය. මේ තත්වය තුළ සන්ධානගත වන සියලු දෙනාම, යම් තරමක කැපකිරීම් කළ යුතුව තිබේ. සජිත්ගේ නොමේරූකම ගැන රට දනිති. විමතිය මලික්ලා අජිත්ලා හැසිරෙන ආකාරය ගැනය.

මහලේකම් ධූරය එජාපය තබා ගැනීමට රට පුරා පෝස්ටර් ඇලවිය යුතු නැත. එකඟතාවයකින් කළ හැකිය. එහෙත් සජිත්ලාට අවශ්‍ය බෙදීමකි. ප්‍රධාන පක්ෂය සතුව පවත්නා යම් යම් වගකීම් බෙදා ගන්නේ විශ්වාසය ගොඩනැගීම සඳහාය. සජිත් මලික් අජිත් කල්ලිය, පළමුව සන්ධානයට එකඟවූ හවුල්කාර පක්ෂවලද දෙවනුව, තම පක්ෂයේද විශ්වාසය බිඳ අවසන්ය. සජිත් මලික් අජිත් කල්ලියට අවශ්‍ය එජාපය කාලීන දේශපාලනය තුළ තනි කිරීමටය. මහලේකම් ධූරය එජාපය තබා ගන්නේ නම් ඒ සඳහා තමන් සුදුසු යැයි කියන තරමට සජිත් ප්‍රේමදාස ළාමකය. මේ හැසිරෙන්නේ අනාගත එජාපයේ භාරකරු නම්, විධායක ජනපති නම් තවත් මොන කතාද? ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වූ අවස්ථාවේ ව්‍යවස්ථානුකූලව වහා තනතුරු සම්පූර්ණ කිරීමෙන් රට සුරක්ෂිත කෙරිණ. එකී රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවන් නිම කෙරුණේ පැය බාගයකටත් අඩු කාලයක් තුළය. මේ තත්වය සැලවූ ප්‍රේමදාස පවුලේ සාමාජිකයෙකු කේ.එච්.ජේ. විජයදාසගෙන් අසා ඇත්තේ ප්‍රේමදාස ආර්යාව ජනාධිපතිකමට පත් නොකළේ ඇයි ද කියාය. මේ සිද්ධිය සමග ජලනි ප්‍රේමදාස දැනටම ආර්යාව වී සිටීමෙන් ජනතාවට බොහෝ දේ තේරුම් ගැනීමට අපහසු නැත.

සජිත් මලික් අජිත් කල්ලිය නිසා 5වෙනි සඳුදාට නියමිතව තිබුණ එකඟතා ගිවිසුම අත්සන් දැමීම කල් දැමීමට සිදුවිය. එය ඇසූ අමාත්‍ය අර්ජුන රණතුංග කළ ප්‍රකාශය මෙහිදී වැදගත්ය. අර්ජුනගේ ප්‍රකාශයේ සාරාංශය එජාපයට තනිව ජයගත හැකි නම් සන්ධාන අනවශ්‍ය බවයි. අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන ඇමතිවරු තිදෙනාම 2015 පෙරළිය සඳහා රාජපක්ෂ කඳවුර හැර පැමිණ ජනවාරි ව්‍යාපාරයට එක්වූ වූ හවුල්කාරයෝ වෙති. පසුගිය සතියේ අනිද්දා පත්‍රයෙන් මෙම ලියුම්කරු 1988 සිට මැතිවරණ දත්ත උපුටා දක්වා තහවුරු කළේ එජාප ශක්තිය ජයග්‍රහණයක් කරා ගෙන යාමට, සන්ධානයක අවශ්‍යතාව වේ.

වසර 25ක් එක දිගට ඇදවැටෙමින් පවත්නා එජාප ශක්තිය ජනවාරි ජයග්‍රහණය නිසා යෝධ හයියෙන් පිබිදිණ. එකී ප්‍රතිඵලය නවසිය අසූගණන්වල පැවති ජයග්‍රහණයන්ට සමපාත විය. එහෙත් 2018 පෙබරවාරියේදී එජාපය නැවත 2010 පැවති තත්වයට විසිවී ඇත. එහි තේරුම ඉදිරි මැතිවරණ හමුවේ එජාපය ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු බවය. මේ තත්වය මහින්දටද පොදුය. ජනවාරියේ ලබා ගත් පනස්හත් ලක්ෂයෙන් පෙබරවාරියේ මහින්දට ඉතිරිවුණේ හතලිස් නව ලක්ෂයකි. අට ලක්ෂයක් ඔහු හැර ගොස්ය. අගෝස්තුවේ හිමි කර ගත් පනස් ලක්ෂයෙන් පෙබරවාරියේ එජාපයට ඉතිරි වුණේ තිස් හය ලක්ෂයකි. දාහතර ලක්ෂයක් එජාපය හැර ගොස්ය. එහි එකතුව විසි දෙලක්ෂයකි. ප්‍රධාන පක්ෂ දෙක මෙන්ම බොරුකාර නායකයන් ප්‍රතික්ෂේප කළ මේ ලක්ෂ විසිදෙක එළඹෙන ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහකයා තේරීමට නියමිතය. සන්ධාන අවශ්‍ය මේ නිසාය.

2010 ජනාධිපති මැතිවරණයට පසුව හංස සන්ධානයේ හවුල්කරුවන් එක් පෙරමුණක් කිරීමේ සාකච්ඡා ඇරඹිණ. එහිදී සරත් ෆොන්සේකා උපුටා දක්වමින් 'දිවයින' කියා සිටියේ බිහිවන සන්ධානයේ නායකත්වය මෙන්ම අගමැතිකමද තමන්ට අවශ්‍ය බවය. ඒ ප්‍රකාශයේ සත්‍යතාව කුමක් වුවද සියලු කතා බිඳ වැටිණ. ඒ අවස්ථාවේ මාධ්‍ය ඇමතූ ටිල්වින් සිල්වා හැඟීම් බරව ප්‍රකාශ කළේ, එජාපයට සීනුවෙන් තරඟ කළ නොහැකිවා මෙන්ම අලියා ලකුණෙන් ජවිපෙටද ඉදිරිපත් කළ නොහැකි බවය. අදහස් කළේ අවංක කැපවීම ගැනය. දේශපාලන ව්‍යාපාරයකදී කැපවීම මහා සාධකයකි. සජිත් මලික් අජිත්ලා මේ කරන්නේ දොර ජනෙල් වසා කළ යුතු සටනක් පාරට තල්ලු කිරීමය. මෙය නැවත සිරිකොතට ගල් ගැසීමකි. ජනාධිපතිවරණය මුවවිට, රනිල් වික්‍රමසිංහ සමග පවත්නා ගනුදෙනු බේරා ගැනීමට යාමෙන් සිද්ධ වන්නේ අතපය කඩාගෙන උනුන් බරපතළ ලෙස තුවාල කර ගැනීම පමණකි.

සජිත් කල්ලිය ලෙඩා මරා හෝ ඇඳ නිදහස් කර ගැනීමට සූදානම් බව පෙනේ. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයේ පටන් මේ දක්වා සජිත් මලික් අජිත්ලා වෙනම මානසිකත්වයකට කොටුව සිටිති. අදටත් එසේමය. සජිත් මලික් අජිත් පමණක් නොව රනිල් පවා සිරිසේනලා රාජපක්ෂලා සමග යම් සීරුමාරුවකට හැසිරෙන බව රහසක් නොවේ.

එහෙත් ජනවාරි ජයග්‍රහණයෙන් සන්නද්ධ සිවිල් සංවිධාන පවත්නා තත්වය වඩාත් පුළුල්ව ගැඹුරෙන් දකිති, හෙවත් වඩාත් ශක්තිමත් මානසිකත්වයකින් මේ අර්බුදය තේරුම්ගෙන සිටිති. නියමිතව ඇත්තේ ගල උඩ සටනකි. පවත්නා තත්වය පොදුවේ සමාලෝචනය කළ කල්හි ප්‍රධාන පක්ෂ දෙකටම අපේක්ෂකයෙකු පිළිබඳ නිශ්චිතයක් නැත. මහින්දට ගැටලු ගණනාවකි. පළමුවැන්න, 19 වැනි සංශෝධනයෙන් තමන්ට විලංගු වැටී ඇති නිසා, නාමල් රාජපක්ෂ පැමිණෙන තෙක් මේ මැතිවරණය මග හැරීමට ඔහුට උවමනා වී තිබේ. සජිත්ට අවශ්‍යව ඇත්තේ මේ මැතිවරණය ප්‍රාණ ඇපයට තබා පක්ෂයේ බලය ඇල්ලීමය. සජිත් එජාපය වටා ගොනුවන ශක්තිමත් සන්ධානය ගැන නොතකා සිය පුද්ලික න්‍යාය පත්‍රයට අනුව හැසිරෙමින් සිටියි. රනිල් විරෝධී මාධ්‍ය ව්‍යාපාර දෙකක න්‍යාය පත්‍රයට අනුව සජිත් මලික් අජිත් කල්ලිය හැසිරෙමින් සිටිත්, පොහොට්ටුවෝ කතා කරන්නෝ රාජපක්ෂලා ගැනය. ඒ තත්වය තුළ මහින්ද අපේක්ෂකයා නම් කිරීමට ඇල්මරමින් සිටියි. ඔහුගේ සමීපයන්ට අනුව ගෝඨා අපේක්ෂකයෙන් නොවේ. නාම යෝජනා දිනය තෙක් පෙන්වන තොරණක් පමණකි.

පාස්කු ප්‍රහාරය නොවන්නට මේ වනවිට ජනාධිපති මැතිවරණ සටන ඇරඹිලාය. සජිත් රටේ අගමැති වී සිරිසේනගේ ජනාධිපති සටන මෙහෙයවනවාය. අපේක්ෂකයෙකු අහිමිවූ පොහොට්ටුවෝ ගෙවල්වලය. ඒ සියලු සිහින බිඳ වැටිණ. දැන් සිද්ධවෙන්නේ කුමක්ද? සිරිසේනට අවශ්‍ය ජනවාරි බලවේග දියකර හැරීමය. ඒ ටික සජිත් මලික් අජිත් කරමින් සිටිති. ඒ හරහා එජාපයද අවුල්වෙමින් පවතී. අගෝස්තු 5 වැනිදා කිරීමට නියමිතව පැවති සන්ධානය ගොඩනැගීම නතර කිරීමට සජිත් සමත් වීම යම් ජයග්‍රහණයකි. ගිය සතියේ අනිද්දා පත්‍රයෙන් කළ විග්‍රහයට අනුව, අගෝස්තුවේ හිමිකර ගත් ජයග්‍රහණ වර්තමානයේ එජාපය සතුව නැත. ජනවාරියෙන් පිබිදුණ එජාපය 2015 අගෝස්තුවේ 5098927 ක් හිමි කරගත්තේය.

එය 45.66%කි. (සුවිශාල වර්ධනයකි). 2018 දී එජාපය 3640620ක් පසුබැසීය. එය 29.42%කි එජාපයට තනිව බෑ කියන්නේ ඒ නිසාය. සන්ධානයක් හරහා නැවත ශක්තිමත් විය හැකි බව සජිත් නොදන්නවා නොවේ. එහෙත් ජයග්‍රහණයක් තුළ ඔහුට වටිනාකමක් නැත. සැලසුම වන්නේ එජාපය වට්ටවා එහි බලය ඇල්ලීමය. ජයග්‍රාහී එජාපයක බලය කිසි විටෙක සජිත්ට හිමි නොවේ. මුලින්ම කී පරිදි රාජපක්ෂ කුමරුවා වෙනුවෙන් මහින්ද සිතන ආකාරයටම ප්‍රේමදාස කුමාරයා තමන් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියි. හැම තීරණාත්මක ඡන්දයකදීම සජිත් සිටියේ පක්ෂය සමග නොවේ. 2015 ඔහු උත්සාහ කළේ පොදු අපේක්ෂකයා නතර කිරීමටය. මේ කරන්නේත් ඒ ටිකමය. එජාපයේ සමහරුන්ට සජිත් රනමොනරෙකි. එහෙත් සන්ධානයකදී හෝ අන්තර් දේශපාලන හමුවකදී සජිත් යනු අබ්බගාතයෙකි.

සජිත්ගේ විකාරය එජාපය පැත්තෙන් එසේ කියවිය හැකිය. එහෙත් ජනවාරිවරුන් එළඹෙන ජනාධිපති වැතිවරණය දකින කෝණය බෙහෙවින් වෙනස්ය. මාදුළුවාවේ හාමුදුරුවන් මෙහෙය වූ ජනවාරි ව්‍යාපාරය 2015 දී පොදු අපේක්ෂකත්වය සඳහා තෝරා ගත්තේ කරු ජයසූරියයි. එය එසේ සිදුනොවිණ. එහෙත් වාසනාවට කතානායකවරයා වෙමින් ඔහු සිරිසේන මහින්ද කුමන්ත්‍රණය පරාද කිරීමට සමත් විය. ජනවාරි අපේක්ෂාවේ ප්‍රතිඵලය වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බේරා ගැනීමට ඔහු කළේ හුදෙකලා සටනකි. සත්‍ය ලෙසම මේ වන විට විධායක ජනාධිපති ක්‍රමයේ සියලු රැස් ඔ්ජස් දිය වෙමින් පවතී. අද විධායක ජනාධිපතිවරයාට පොලිස්කාරයෙකු මාරු කිරීමට බලයක් නැත.

17 වෙනි සංශෝධනයෙන් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ විධායක ජනාධිපති හැටියට තමන්ට මිද්දෙනියේ පොලිසියේ ඔඅයිසී මාරු කිරීමට බැරිනම් ඇති පලේ කුමක්ද? කියාය. එකී පටු අරමුණු මත 18 වෙනි සංශෝධනය හරහා සියලු බල අතට ගත් මහින්ද රාජපක්ෂ පාලනය නිසා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හිරේට නියම විය. තාජුදීන් ඝාතනයේ සාක්ෂි සැඟවූ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ දෑතට මාංචු වැටිණ. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසුව, ජනාධිපති සිරිසේනට පොලිස් පරීක්ෂකයෙකු මාරු කිරීමේ බලය අහිමි විය. ඔක්තෝබරයේ සිරිසේන කළ සියලු ක්‍රියා ශූන්‍ය විය.

19 වෙනි සංශෝධනයේ 51 වෙනි ව්‍යවස්ථාවට අනුව එකී නීතිය ආරම්භ වන දිනයේ සිට ජනාධිපතිධූරය දරන්නාට එකී තනතුර දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂක, මහවැලි සහ පරිසර ඇමති තනතුරු දැරිය හැකිය. 2020 පත්වන ජනාධිපතිට ඇමතිකම් තහනම්ය. අලුතෙන් පත්වන ජනාධිපති දෙවසරක් තුළ තනතුර අහෝසි කර ගෙදර යාම හෝ නාමික තනතුර දැරිය හැකිය. හෝ ඇබෑර්තු වන විට මන්ත්‍රීකමක් ලබා ගත හැකිය. සජිත් මලික් අජිත්ලා මේ අමුඩ ගසන්නේ කුමකටද? එක්කෝ විධායක ජනාධිපති තනතුර යළි බලගැන්වීමටය. ඒ සඳහා 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීමටය. ඊට මහින්ද සිරිසේන දැනටමත් කැමතිය. එහෙත් රාජාලියා සමග සිටි යූඑන්පී කාරයන් හා ජනවාරිවරුන් ඊට ඉඩ දෙන්නේ නැත.

2020 පත්වන ජනාධිපති 19 වෙනි ව්‍යවස්ථාව තෙක් රට ආ ගමන ඉදිරියට ගෙන යාමට සූදානම්ද? එසේ සූදානම් වන්නේ නම් පමණක් ජනවාරි සිවිල් බලවේග ඔවුන් සමග සිටිනු ඇත. සත්‍ය ලෙසම සිවිල් බලවේග තෝරා ගන්නා ජනාධිපති වසර දෙකකින් සියල්ල නිමවා ගෙදර යා යුතුව තිබේ. අපට අවශ්‍ය නෙල්සන් මැන්ඩෙලා කෙනෙකි. ඔබ ඊට කැමතිද?


අනිද්දා