පොඩි මිනිහාගේ නායකයාට ජය හිමිකරදුන් 1988 ජනාධිපතිවරණය..

පොඩි මිනිහාගේ නායකයාට ජය හිමිකරදුන් 1988 ජනාධිපතිවරණය..

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දෙවැනි ජනාධිපතිවරණය වන්නේ 1988 පැවති ජනපතිවරණයයි. වසර 10ක් තිස්සේ ජනාධිපතිධූරය හෙබවූ එ.ජා.ප යේ ජූනියස් රිචඩ් ජයවර්ධන ව්‍යවස්ථානුකූලව තවත් වරක් ජනාධිපති පදවියට පත්විය නොහැකිවාක් සේම රටතුල පැවති දරුණු දේශපාලනික සුළි කුණාටුවෙන්ද පීඩා විඳිනවා වෙනුවට එ.ජා.ප යේ අපේක්ෂකයා ලෙස එවකට එ.ජා.ප යේ උප නායක මෙන්ම අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස පත්කිරීමට තීරණය කරන ලදි.

රටතුල පැවතියේ දැඩි භීෂණකාරී තත්වයකි. ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් දක්වා සිය සටනට දිගුවක් ලබාගෙන තිබූ අතර මැතිවරණයේ උණුසුම වෙනුවට ‘මව්බිම නැත්නම් මරණය’ පෝස්ටර් රටපුරා ජනතාව මෙන්ම රජයේ සහ අනෙකුත් පක්ෂවල දේශපාලනඥයින් බියට පත්කිරීමට සමත්විය. 1987 ඉන්දියාව සමග ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගම කූටප්‍රාප්තියට පැමිණි ජ.වි.පෙ සන්නද්ධ කැරැල්ල විසින් ජනාධිපතිවරණය දැඩිලෙස අඩපණ කරනු ලැබීය. එවකට අප්‍රකටව කටයුතු කළ ජ.වි.පෙ නායක රෝහණ විජේවීර ජනාධිපතිවරණය වර්ජනය කරන බවත් ජනතාවද එය වර්ජනය කළ යුතු බවට ප්‍රචාරය කරනු ලැබීය.

එසේම උතුරේ දෙමළ සන්නද්ධ කල්ලිද සිය සාමාජික ශක්තිය සහ අවි ශක්තිය වැඩිකරගනිමින් ඉන්දියන් සාම සාධක හමුදාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග උතුරද ගිනි ජාලාවක් බවට පත්ව තිබිණි. එවැනි භීෂණකාරී වටපිටාවක් තුල නාමයෝජනා කැඳවූ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙක් සහ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ඉදිරිපත් විය.

රණසිංහ ප්‍රේමදාස එ.ජා.ප යෙන් ඉදිරිපත් කරද්දී ජන උදාන ගම්මාන, කොළඹ නිවාස යෝජනා ක්‍රම ඇතුළු දුප්පත් ජනතාව නගා සිටුවීම උදෙසා අගමැති ලෙසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා ඔහු ‘පොඩි මිනිහාගේ නායකයා’ ලෙස විරුදාවලිය දිනා සිටියහ. ධනවත් දේශපාලන පරපුරුවලින් පැවතඑන රාජ්‍ය නායකයින් දැරූ තනතුරට තරඟ කරන්නට පැමිණි සාමාන්‍ය මිනිසෙක් ලෙස ඉදිරිපත්වූ ප්‍රේමදාස නිසාවෙන් ඒ දක්වා දැඩිලෙස පිරිහෙමින් තිබූ එ.ජා.ප යේ ඡන්ද පදනමට යම් ජීවයක් ලැබුණි.

නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වූයේ වසර 7ක් තිස්සේ ජේ.ආර්ගේ අත්තනෝමතික පළිගැනීමක් නිසා ප්‍රජා අයිතිය අහිමිව සිටි නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරණායකය. හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ බිරිඳ ලෙස ඇය හොඳින් දේශපාලනිකව පදම් වී සිටි අතරම 1982 පරාජයෙන් පාඩම් ඉගනගෙන සිටීමද විශේෂත්වයකි.

ඒ දෙදෙනාට අමතරව තුන්වෙනි බලවේගය ලෙස ඉදිරිපත්වූයේ එකළ ලංකාවේ විකල්ප පක්ෂයක් ලෙසින් දැඩි ජනප්‍රසාදයට පත්ව සිටි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂකයා වූ ඔසී අබේගුණසේකරය (ඔස්වින් අබේගුණසේකර). 1988 පෙබරවාරි 16 දින මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංඟ ඝාතනයත් සමග මහජන පක්ෂයේද විවිධ ගැටුම් ආරම්භවූ අතරම මහජන පක්ෂය සුරකින්නට පොරොන්දුවූ විජයගේ බිරිඳ චන්ද්‍රිකාද එවකට රටින් පිටව ගොස් සිටියහ. එවැනි තත්වයකදී ඔසී ඇතුළු පාර්ශවය මහජන පක්ෂයේ බලය තහවුරු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වූහ.

1988 නොවැම්බර් 10 දින පැවති ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තාවූ ජනාධිපතිවරණය බවට පත්වන්නට හේතුවූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තුන්ඩු සහ පෝස්ටර් මගින් මැතිවරණයට ඡන්දය පලකරන්නට යන පිරිසගේ ඇඟිලි කපා දමන බවට තර්ජනය කිරීම හේතුවෙන් වූ අතර ප්‍රදේශ ගණනාවකින් එසේ සිදුකිරීම්ද වාර්තාවීම නිසා ඡන්ද පොළට යන සංඛ්‍යාව ඉතා අඩුවිය. ජ.වි.පෙ බලපෑම දැඩිව පැවති දකුණු පළාත සහ බස්නාහිර පළාත තුල ඡන්ද භාවිතය අඩුවීම කැපී පෙනිනි. එසේම උතුරේ එල්.ටී.ටී.ඊ ය විසින් ද මැතිවරණය වර්ජනය කිරීම සහ ජනතාව බියගැන්වීම මත ඡන්ද භාවිතය ඉතා අවම මට්ටමට පහත බැස තිබිණි.

එවැනි වටපිටාවක දිවයින පුරා මධ්‍යස්ථාන 8060කදී පැවති මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 9,375,742 ක් වූ අතර ඉන් ප්‍රකාශයට පත්වූයේ 5,186,223ක් පමණි. එනම් 55%කට ආසන්න ප්‍රතිශතයකි. ඉන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තේ එ.ජා.ප අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස වන අතර ඡන්ද ප්‍රමාණය 2,569,199 ක් විය. එහි ප්‍රතිශතය වූයේ 50.43% ක් වූ අතර යාන්තම් ඡන්ද 21,810 කින් 50% සීමාව ඉක්මවා යාමට සමත්විය. නිදහස් පක්ෂ අපේක්ෂිකා සිරිමාවෝ ඡන්ද 2,289,960ක් ලබාගත් අතර ඔසී අබේගුණසේකර ඡන්ද 235,719ක් ලබාගත්හ.

ඒ අනුව දැඩිසේ ජනතා අප්‍රසාදයට පත්ව සිටි පාලක පක්ෂය ලෙස එ.ජා.ප ය මෙම ජනාධිපතිවරණය පරාජයට පත්වේයැයි බොහෝ දෙනෙක් සිතා සිටියද රණසිංහ ප්‍රේමදාස නැමති ධෛර්යසම්පන්න නායකයා සහ ආකර්ශණීය කථිකයා විසින් රටේ ජනතාවගේ මතය නැවතත් එ.ජා.ප ය දෙසට හරවන්නට සමත්විය. රණසිංහ ප්‍රේමදාස විසින් කොළඹ,මහනුවර,මාතලේ,නුවරඑළිය,හම්බන්තොට,වන්නි,මඩකලපුව,අම්පාර, ත්‍රිකුණාමලය,කුරුණෑගල, පුත්තලම පොළොන්නරුව, බදුල්ල, මොණරාගල,කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ජයගැනීමට සමත්විය. ඒ බොහොමයක් බහුතරයක් දුප්පත් ගොවි, කම්කරු ජනතාව සහ වතු සේවක ප්‍රජාව සිටිනා දිස්ත්‍රික්කයන්ය.

එසේම සිරිමාවෝ බණ්ඩාරණායක විසින් ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ජයගැනීමට සමත්විය.යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලදී මහජන පක්ෂය දෙවැනි ස්ථානයට පැමිණිමද කැපී පෙනෙන සිදුවීමක් විය. කෙසේ නමුත් දුප්පත් ජනතාවගේ නායකයා ලෙස සැලකුණු රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනපති ලෙස දිවුරුම් දුන් අතර එයින් පසු ඔහු කළ කතාවකදී සඳහන් කලේ තමන්ට ලැබුණේ උතුරින් සහ දකුණින් ගිනිගන්නා දෙකොණ විලක්කුවක් බවය.

More Articles