නිදහස් පක්ෂය දෙකඩ කල 1982 පළමු ජනාධිපතිවරණය..

නිදහස් පක්ෂය දෙකඩ කල 1982 පළමු ජනාධිපතිවරණය..

ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ලෙස 1982 මැතිවරණය හැඳින්වූවත් ලංකාවට පළමු විධායක ජනාධිපතිවරයා බිහිවන්නේ 1978දී ය. 1977 මහ මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හාන්සි කර දැමූ අගමැති ජේ.ආර් ජයවර්ධන පාලනය 72 ජනරජ ව්‍යවස්ථාවට දෙවනි සංශෝධනය සිදුකරමින් විධායක බලතල සහිත ජනාධිපතිධූරයක් හඳුන්වාදී තමන් එම තනතුරේ දිවුරුම් දෙනු ලැබීය. ඒ 1978 පෙබරවාරි 04 වැනිදාය. හය අවුරුද්දකට බලයේ සිටීමට දිවුරුම් දෙන්නට තරම් ජේ.ආර් විධායකට අධික බලතල එක්කර තිබිණි.

වසර දෙකක් යන්නටත් පෙර ජේ.ආර් ප්‍රමුඛ එ.ජා.ප පාලනයට එරෙහිව විපක්ෂය වූ නිදහස් පක්ෂය සහ 71 කැරැල්ලෙන් පසු අඩපණව සිට නැවත දේශපාලනිකව හිස ඔසවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණද ජනතාව සමග විරෝධතාව දැක්වීම නිසා ජේ.ආර් සිටියේ නොසන්සුන්වය. එහිලා තමන්ට බරපතල වශ යෙන් හිසරදයක් වෙමින් සිටි සිරිමාවෝ බණ්ඩාරණායකගේ ‘ප්‍රජා අයිතිය’ 1980 දී වසර හතකට අහිමි කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගැනීම නිදහස් පක්ෂයට මරු පහරක් විය.

ඉන් අනතුරුව අන්ත ඒකාධිපති පාලනයකට පය තැබූ ජේ.ආර් ජයවර්ධන නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට බළල් අත් යොදාගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් පක්ෂයේ පාර්ශව දෙක්ක බිහිවූ අතර එකක් සිරිමාවෝ පාර්ශවය සහ ඇයට විරුද්ධව කටයුතු කරනු ලැබූ මෛත්‍රීපාල සේනානායක වීය. එහෙත් අවසානයේදී පක්ෂයේ අයිතිය දිනාගැනීම උදෙසා අධිකරණය හමුවට ගිය සිරිමාවෝ ඇතුළු පිරිසට එයින් පක්ෂයේ අයිතිය නිළ වශයෙන් හිමිවිය.

නිදහස් පක්ෂය තුල අර්බුද මැවෙද්දී ජේ.ආර් විසින් අනෙක් පැත්තෙන් වමේ පන්හිඳ ලෙසින් සැලකූ ‘ඇත්ත’ පුවත් පවා තහනමට ලක්කෙරිණි. එවැනි මර්දනයන් මැද අවස්ථානුකූල වාසිය ලබාගැනීමට සිතූ ජේ.ආර් 1982 දී තවත් වසර දෙකක් බලයෙි සිටිය හැකිව තිබියදී හදිසියේම ජනාධිපතිවරණයක් කැඳවන්නේ සිය අසීමිත විධායක බලය යොදාගනිමිනි.

නිදහස් පක්ෂය ප්‍රධාන විපක්ෂ ලෙසින් ක්‍රියාකලද අභ්‍යන්තර ගැටුම් නිසා දෙකඩව සිටි නිදහස් පක්ෂය ස්ථිරසාරව දෙකඩවීමට මෙම ජනාධිපතිවරණයද බලපෑම් කරනු ලැබීය. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමිව තිබූ නිසා ජනාධිපති අපේක්ෂකධූරයට නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරාගැනීම ගැටළුවක් විය. ඒ සඳහා හිටපු අධ්‍යාපන ඇමති ටී.බී.ඉලංගරත්නගේ සහ හිටපු කෘෂිකර්ම ඇමති හෙක්ටර් කොබ්බෑකඩුවගේ නම් යෝජනා වූ අතර වැඩි කැමැත්ත මත කොබ්බෑකඩුව අපේක්ෂකයා බවට පත්විය. එ.ජා.පයේ අපේක්ෂකයා වූයේ ජේ.ආර් ජයවර්ධනය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණද සිය නායක රෝහණ විජේවීර අපේක්ෂකයා බවට පත්කරගත් අතර ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්.ද සිල්වා, දෙමළ කොංග්‍රසයෙන් ජී.ජී.පොන්නම්බලම් සහ නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර මැතිවරණයට ඉදිරිපත් විය.

රාජ්‍ය බලය දැඩිලෙස භාවිතාකළ එ.ජා.ප රජය විපක්ෂයේ පෝස්ටර් ව්‍යාපාර පවා සීමා කරමින් තමන්ට රිසිසේ රටපුරා පෝස්ටර් ඇලවූහ. විරුද්ධවාදීන් මර්දනය සඳහා ආරක්ෂක අංශ මෙන්ම ආණ්ඩුවේ ලේබලයලත් මැරයන්ද යොදාගැනුණි. විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා ඇතුළු පිරිස කොබ්බෑගඩුවට සහය දැක්වීම ජේ.ආර්ට තිබූ ප්‍රබලතම බලපෑම බවට පත්ව තිබිණි. අනික් අතට ජනතා විමුක්ති පෙරමුණ වෙතද නැවත ඇදී යමින් තිබුණු තරුණ ඡන්ද කොටස නතරකරගැනීම අසීරු විය.

දිවයින පුරා මධ්‍යස්ථාන 6985 කදී 1982 සැප්තැම්බර් මස 17 වෙනිදා පැවති පළමු ජනාධිපිතවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 8,145,015 ක් වූ අතර, එයින් ප්‍රකාශයට පත්වූයේ 6,602,617 කි. අවසන් ප්‍රතිඵලයෙන් ජේ.ආර් ජයවර්ධන ඡන්ද 3,450,811 ක් ලබාගෙන 52.9% ක් ලබාගනිමින් ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්විය. ඔහු යාපනය දිස්ත්‍රික්කය හැරෙන්නට සෙසු සියලුම දිස්ත්‍රික්කවල ජය වාර්තා කිරීමට සමත්විය.නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්ද 2,548,438 ක් ලබාගත් අතර ඔහුට ජයගත හැකිවූයේ යාපනය දිස්ත්‍රික්කය පමණි. රෝහණ විජේවීර ඡන්ද 173,934ක් ලබාගත් අතර එයින් 28,000 ක් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ඒ අනුව ජේ.ආර් ජයවර්ධන නැවත වරක් වසර 6ක කාලයක් සඳහා මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වූ අතර 1978 විවෘත ආර්ථිකයේ සැබෑ ස්වරූපය ඔහු ක්‍රියාත්මක කරන්නට පටන්ගත්තේ ද ඉන් පසුවය. කෙසේ වෙතත් 1982 ලංකාවේ පළමු ජනාධිපතිවරණය කොතරම් දූෂිත එකක් ද යන්න පැහැදිලි වන්නේ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද පොළට යනවිට ඔහුගේ ඡන්දයද වෙනත් කෙනෙක් විසින් ප්‍රකාශ කර තිබීම වැනි විශ්මයජනක සිදුවීම් නිසාය.

More Articles