බූ බබා තුල්සි එක්ක පඬිතුමා හැදූ යෝධයා නික්ම යයි

බූ බබා තුල්සි එක්ක පඬිතුමා හැදූ යෝධයා නික්ම යයි

ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය.

60 දශකයේ මුල් භාගයේ නවයුගය සඟරාවෙන් චිත්‍රකතාකරණයට පිවිසි දිසානායක, වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරා වලට චිත්‍රකතා නිර්මාණය කළේය.

බූබූ බබා, පුංචිත්තා, බටකොල ආච්චි, තුල්සි යෝධයා, පඬිතුමා වැනි චිත්‍රකතා ළමා මනස රසවත් කළ මේ අපූරු චරිත නිමැවුණේ එස් ඒ දිසානායක නම් චිත්‍ර ශිල්පියා අතින් බව ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.

මීට අමතරව ඔහු විවිධ ග්‍රන්ථ රාශියක් ද පළ කර ඇත. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ දිසානායක ගුරුවරයෙක් ලෙස ද සේවය කලේය.

අභාවප්‍රාප්ත එස්. ඒ. දිසානායකගේ දේහය හෙට පස්වරුවේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාර දීමට නියමිතය. එතෙක් දේහය හෙට උදාසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ ඥාතීන් පවසයි.

එස්. ඒ. දිසානායක ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ජනමාධ්‍යවේදියෙකු වන චරිත දිසානායකගේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසරිස්වරියක වන නදී දිසානායකගේ ආදරණීය පියාණන් ය.