‘ගින්නෙන් උපන් සීතල’ ගැන - කලාවෙන් ඔබ්බට - දෙවන කොටස

‘ගින්නෙන් උපන් සීතල’ ගැන - කලාවෙන් ඔබ්බට - දෙවන කොටස

පක්ෂයේ ප්‍රධාන ලේකම් බවට පත් වන්නට පෙරාතුවත් පක්ෂයෙන් ඉවත් වන තෙක් ම ඉන් පසුවත් පක්‍ෂයට එරෙහිව එල්ල කරන ලද රජයේ මර්දන ක‍්‍රියාවන් සම්බන්ධයෙන් පොලීසිය සහ ආණ්ඩුව සමඟ මූලික වශයෙන් කටයුතු කලේ මම යි. දේශපාලණ මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් රෝහණ, ගමේ සහ එස් ඩී යන සහෝදරවරු විවෘත තලයේ පක්ෂ කටයුතු කලහ.

රජයෙන් මෙන්ම පිටතින් පැමිණෙන තර්ජනවල ප්‍රධාන ඉලක්කය වූයේ රෝහණ සහෝදරයා බැවින් ඔහු බොහෝ විට පක්ෂ මූලස්ථානයේ දිගු වේලාවක් ගත නොකලේය. එසේ නමුත්, යටි බිම් ගත වීමේ ඔහුගේ තීරණය විවෘත තලයේ දිගටම කටයුතු කල පක්ෂයේ ප්‍රධාන ලේකම් සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව හෝ එසේ තීරණය කිරීමෙන් පසුව පවා ඔහුට දැන්වීමකින් තොරව රෝහණ සහෝදරයා කොළඹින් බැහැරව යන්නට ඇත්තේ කවර මානසික තත්වයක් යටතේ දැයි අනුමාන කරනවා හැරෙන්නට වෙනත් කරුණු දැක්වීමක් කරන්නට මට නොහැකිය.

පක්ෂ නායකත්වය තුල එවැනි මානසික තත්වයකට මඟ පෑදිය හැකිව තිබුන සාධක කෙටියෙන් මෙසේ දැක්විය හැකිය: 1983 ජූනි මාසයේ පවත්වන ලද දේශපාලන මණ්ඩල රැස්වීමක දී රෝහණ සහ ගමනායක යන සහෝදරවරු ජාතික ප්‍රශ්නය හා සම්බන්ධ ස්වයං-නීර්ණ අයිතිය පිළි ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයක් ගත්හ. දේශපාලන මණ්ඩලයට පක්ෂ ප්‍රතිපත්ති වෙනස් කිරීමට අයිතියක් නොමැති බව පෙන්වා දුන් මම, ඔවුන් එසේ කලහොත් ඒ මොහොතේ ම මම පක්ෂයේ සියළු වගකීම්වලින් සහ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන බවද දැන්වූයෙමි. මේ දේශපාලන ප‍්‍රශ්නය පක්ෂයේ තීරණාත්මක බෙදීමකට මඟ පාදන බව දේශපාලන මණ්ඩලය දැන සිටියේය. දේශපාලන මණ්ඩල සාමාජිකයෝ, විශේෂයෙන්ම ගමනායක සහෝදරයා පක්ෂය හැර නොයන ලෙස මගෙන් ඉල්ලා සිටි අතර පූර්ණ මධ්‍ය කමිටු සැසි වාරයක් කැඳවා ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නට එකඟ වූහ. ඒ අනුව යමින්, විතාරන්දෙනියේ විජිත රණවීර සහෝදරයාගේ නිවසේ දී 83 ජූලි මස හදිසි පූර්ණ මධ්‍ය කමිටු සැසි වාරයක් කැඳවන ලදි.

ඒ රැස්වීමේ දී රෝහණ සහෝදරයා ස්වයං-නීර්ණ අයිතිය පිළි ගැනීම පිළිබඳව එතෙක් පිළිගත් පක්ෂ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන්නට යෝජනාවක් ගෙන ආවේය. අමරසිංහ සහෝදරයා ඒ යෝජනාව ස්ථිර කලේය. ස්වයං-නිර්ණ අයිතිය පිළි ගැනීම නිවැරදි ප්‍රතිපත්තිය බවටත්, මාක්ස් ලෙනින්වාදීහු ඒ අයිතිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල දිනා ගත යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස පිළි ගෙන ඇති බවටත් දැනුදු පිළි ගන්නා බවටත් මම කරුණු දැක්වූයෙමි. රට පුරා සිටින ප්‍රගතිශීලී කණ්ඩායම් සමග කටයුතු කරන පුළුල් ව්‍යාපාරයක් ගොඩ නඟමින් වෙනම රාජ්‍යයක් වෙනුවට සමාජවාදය උදෙසා සටන් කිරීමේ වටිනාකම වාමාංශික දෙමළ කණ්ඩායම් කණ්ඩායම්වලට ඒත්තු ගැන්වීම අපේ දේශපාලන වගකීම බව මම හේතු සාධක සහිතව පෙන්වා දුන්නෙමි.

මෙම මධ්‍ය කමිටු සැසි වාරයේ දී ඒ කාලයේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ලංකාවේ තවමත් ජීවතුන් අතර සිටින ඒ ඩී පී රත්නායක සහෝදරයා ද රෝහණ සහෝදරයාගේ යෝජනාවට එරෙහිව කරුණු ඉදිරිපත් කලේය. අපේ බලවත් ඉල්ලීම නොසලකා රෝහණ සහෝදරයාගේ යෝජනාවට මධ්‍ය කමිටුව මුළුමණින්ම පාහේ සහයෝගය පළ කලේය. 1982 ජනාධිපතිවරණයෙන් පසු පක්ෂය තුල එක්තරා අන්දමකට ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ ප්‍රශ්නය ගැන රහසිගත ආකාරයේ සාකච්ඡා සිදු වෙන්නට පටන් ගෙන තිබුනි. ඒ සාකච්ඡා විවෘත තලයට ගෙන එන්නට අපි 1982 දෙසැම්බරයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී දෑවැන්ත සම්මන්ත්‍රණයක් සංවිධානය කලෙමු. එහිදී රෝහණ සහෝදරයා විසින් පැවති දේශපාලන තත්වය පිළිබඳවද, ගමනායක සහෝදරයා විසින් කම්කරු පංතිය වෙත එල්ල වී තිබුණු ප්‍රහාර පිළිබඳවද දේශන පවත්වන ලදි. මම ජාතික ප්‍රශ්නය හා ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳව කතා කලෙමි. අවසාන‌යේදී අපි දීර්ඝ ප්‍රශ්නෝත්තර වාරයකට ද ඉඩකඩ ලබා දුන්නෙමු. එහෙත්, කිසිවෙකු ස්වයං-නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කරමින් එකදු ප්‍රශ්නයක් හෝ ඇසුවේ නැත.

පුදුමයට කාරණය වූයේ එතෙක් පක්ෂ සාකච්ඡාවලදි මෙන්ම ප්‍රසිද්ධ වේදිකාවේ ස්වයං-නිර්ණ අයිතිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස පිළි ගෙන ඒ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ මධ්‍ය කමිටු නායකයන්ගෙන් බොහෝ දෙනෙක් මධ්‍ය කමිටු සැසි වාරයේ දී නිහඬව සිට ක්ෂණයකින් තම ස්ථාවරය කණපිට හැරවීම යි. ඔවුහු එසේ කලේ අන්ධ භක්තිය නිසාද නැතහොත් ‘හරවා ගැනීම’ ක් නිසාද යන්න මම නොදනිමි. කෙසේ වුවද, මධ්‍ය කමිටුවේ තීරණයත් සමඟ පක්ෂයෙන් සමු ගන්නට තීරණය කළත්, හදිසියේ එසේ නොකරන්නට මම හිත හදා ගත්තෙමි. පක්ෂ නායකත්වය හා සමඟ ඇතිවී තිබෙන වෙනස්කම් පක්ෂය හැර යන්නට පෙර පක්ෂ සාමාජිකත්වයට පැහැදිලි කිරීම මගේ යුතුකමක් විය. එහෙත් ආණ්ඩුවේ මැදහත් වීමෙන් දියත් කරන ලද ජූලි විනාශයත් අපව රැඳවුම් භාරයට ගැනීමත් හමුවේ ඒ සියල්ල ඉටු කර ගත නොහැකි දේවල් බවට පත් විය.

පක්ෂය ජාතිවාදී කෝලාහල සමග කිසිදු සම්බන්ධයක් නොතිබුන තත්වය හමුවේ රාජ්‍ය මර්දනයට එරෙහිව කොන්දේසි විරහිතව පක්ෂය ආරක්ෂා කිරීම මගේ යුතුකම හා වගකීම වශයෙන් සැලකුවෙමි. මා ඒ තීරණයට එළැඹියේ කිසිදු මානසික දුෂ්කරතාවයකින් තොරව යි. මා සමඟ රඳවා ගෙන සිටි සහ පසුව මා සමඟම නිදහස් කල සියළු දෙනා මෙම තත්වය තහවුරු කරනු ඇතැයි යන්න මගේ බලවත් විශ්වාසය යි. ප්‍රතිපත්ති වෙනසක් ඇති කලහොත් මා පක්ෂයේ සියළු වගකීම්වලින් සහ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස් වන බවට 1983 ජූනි මස පවත්වන ලද දේශපාලණ මණ්ඩල රැස්වීමේ දී මා අනතුරු අඟවා තිබිණි. කෙසේ වුවද, 1983 ජූලි මස පැවති මධ්‍ය කමිටු සාකච්ඡාවෙන් පසු පක්ෂයේ නායකත්වය මා කෙරෙහි දැක්වූ ආකල්පය වඩා පැහැදිලි බවට පත් වූයේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස මා තවමත් විවෘත තලයේ කටයුතු කරද්දී යටි බිම් ගත වීමේ තීරණය මා සමඟ සාකච්ඡා නොකිරීමේ හෝ මට දැනුම් නොදීමේ ක්‍රියාව තුලිනි.

ජයවර්ධන රජය දැවැන්ත දෑවැන්ත ආකාරයෙන් පක්ෂය මර්දනය කරන්නට යන බව 1983 ජුනි මස වන විට පක්ෂය දැන සිටි බව ගාමිණි සහෝදරයා පවසයි. ඒ අනුව:

  1. පක්ෂය සෑම දිස්ත්‍රික්කයකම පක්ෂ ක්‍රියාකාරීන් හා සාකච්ඡා පවත්වන ලද බවත්;
  2. පක්ෂය වාම වාදී ව්‍යාපාරයක් වශයෙන් සහ ජනමත විචාරණ මංකොල්ලය හමුවේ ඒ මර්දනය පෙර දැකිය යුතුව තිබුනු බවත්;
  3. මර්දනය කිරීමට සූදානම් වීම් ගැන පක්ෂයට ඒ කාලයේ තොරතුරු ලැබෙමින් පැවති බවත්

ඔහු අවධාරණය කරයි.

ඔහු සතු තොරතුරුවලට අනුව, රජය පක්ෂය තහනම් කොට රෝහණ හා ගමනායක සහෝදරවරුන් සිටින තැන් ගැන ඔත්තු සපයන අයට රුපියල් පනස් දහසක මුදල් ත්‍යාග වෙන් කිරීම පමණක් නොව, “රෝහණ සහෝදරයා අත් අඩංගුවට ගතහොත් ගැටුමක දී මියගිය බව තහවුරු කරන්නට” පැවති කුමන්ත්‍රණ කිහිපයක් ද, ඔත්තුවක් ලැබුන හොත් “මැරෙන්නට වෙඩි තැබීමෙන් පසුව ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස” පොලීසියට කර තිබුනු නියෝගයක් ද ගැන රහස් පොලිස් චක්‍ර ලේඛන මගින් පක්ෂය දැනුවත් බවට පත්ව සිටියේය.

මුල් කාලයේ දී එවැනි භයානක තත්ත්වයකට මුහුණ දෙමින් පවා රෝහණ සහෝදරයා පක්ෂ තහනම ඉවත් කර ගැනීමට කටයුතු කල බව ගාමිණි සහෝදරයා කියා සිටියි. රෝහණ සහෝදරයා වෙනුවෙන් එවකට මුදල් ඇමතිව සිටි රොනී ද මැල් මහතා පෙනී සිටීමට සූදානම්ව සිටි බවට කල මගේ ප්‍රකාශය ගැන ගාමිණි සහෝදරයා අදහස් දක්වයි. ජේ ආර් ‘වියරු වැටී සිටින හෙයින් රෝහණට අඩු තරමින් ටික කලකට හෝ මාල දිවයිනට ගොස් සිටින ලෙස’ රොනී ද මැල් මහතා දන්වා එවා තිබුන බව ඒ කාලයේ පියදාස රණසිංහ සහෝදරයා රෝහණ සහෝදරයාට පවසනවා ඔහුට ඇසුණු බව ඔහු කියා සිටියි. පැවති තත්වය එසේ වූවද, විදේශ ගත වෙන්නට අකැමැති වූ රෝහණ සහෝදරයා “පසුබෑමකට ලක් වෙමින් තිබුනු පක්ෂය රහසිගතව සංවිධාන ගත කිරීමට” ඉතා දැඩි වුවමනාවෙන් කටයුතු කොට තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා ගෙන ආ යෝජනාව පවා ඉවත ලූ ඔහු පක්ෂයේ තහනම ඉවත් කරන තෙක් විවෘත දේශපාලනයට ඒම ප්‍රතික්ෂේප කලේය.

හදිසි නීති තත්වය යටතේ පක්ෂ තුන තහනම් කරන විට එල්ල කරන ලද චෝදනාව වූයේ ජාතිවාදී කෝලාහල මුවාවෙන් බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගන්නට ඔවුහු කුමන්ත්‍රණය කළ බවයි. ආරක්ෂාව සපයන ඕනෑම කෙනෙකුගේ දේපළ රාජසන්තක කරන බවත් රජය ඒ සමඟම ප්‍රකාශයට පත් කලේය. ආණ්ඩුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් වශයෙන් පක්ෂ තුනේ නායකයන් නම් කලේය. එසේ වෙතත්, මගේ මතකයට අනුව රෝහණ හා ගමනායක යන සහෝදරවරුන් සිටින තැන් පිළිබඳව ඔත්තු සපයන අයට මුදල් තෑගි පිරිනමන ලද්දේ ඒ කාල පරිච්ඡේදය තුල නොවේ. එසේ කලේ 1983 අගෝස්තු-සැප්තැම්බර් පමණ කාලයේ දී විය හැකිය.

රජයේ බුද්ධි අංශ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුනු තක්සේරුව පක්ෂ තහනම දිගටම පවත්වා ගැනීමේ තීරණය කෙරෙහි දැඩි සේ බල පා තිබුණේය. ඊට ආසන්නම හේතුව වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ සුබ්‍රමනියම් වාමදේවන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජනාධිපතිවරයාට සපයා තිබුනු පොලිස් වාර්තාවක් බව පසු කාලයක දී මට දැන ගන්නට ලැබුනේය. වාමදේවන් මහතාගේ නාරාහේන්පිට නිවසට පහර දෙන්නට ආවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බව ද ඔහු ජනාධිපතිවරයාට සැල කොට තිබී ඇත. පැරණි වමේ නායකයන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත් වාමදේවන් මහතා ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දැක්වූයේ එදිරිවාදී ආකල්පයකි.

ඒ මුල් කාලය තුල පක්ෂය සමූලඝාතනය කර දැමීමට හෝ පක්ෂයේ නායකයන් ඝාතනය කිරීමට ආණ්ඩුවෙන් නියෝගයක් දී තිබුනේයයි ප්‍රකාශ කරන්නට තරම් සාක්ෂි මා සතුව නැත. එහෙත් 1983 ඔක්තෝබර් මස රෝහණ සහෝදරයා ජනාධිපතිවරයාට ලියා ඇති ලිපියේ ඔහුව ඝාතනය කිරීමට දී තිබුනු නියෝගයක් ගැන මෙන්ම පොලිස් සහ හමුදා නිලධාරීන් එසේ කිරීමට තැත් කිරීමක් ගැනද සඳහන් කර ඇත. ඔහුව වනසා දැමීමට ඇතැම් උප පොලිස් පරීක්ෂකවරුන්ට රහස් නියෝග නිකුත් කොට තිබුනු බවද ඔහු එහි පවසා ඇත. ඒ ලිපියේ අග කොටසේ උතුරේ බෙදුම්වාදී සංවිධාන විසින් කර තිබුනු ත්‍රස්තවාදී කටයුතු ගැන අවධාරණය කරන ඔහු ඒ සංවිධාන සමඟ සාකච්ඡා කිරීම නතර කරන ලෙස ආණ්ඩුවට බල කරයි.

රෝහණ සහෝදරයා ඝාතනය කරන්නට තැත් කිරීමක් පිළිබඳව ඔහු සඳහන් කර තිබුනද සැබවින්ම දේශපාලන ඝාතන පටන් ගන්නේ 1987 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ දයා පතිරණ සහෝදරයා ඝාතනය කිරීමත්, 88-89 කාලය වන විට රජය භයානක කුරිරු භීෂණ ව්‍යාපාරයක් මුදා හැරීමත් සමඟ යි. රට පුරාම ඝාතක කල්ලි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හා කේඩරය දඩයම් කළහ. ආණ්ඩුව ඒ සඳහා පොලීසිය, හමුදා, විශේෂ හමුදා ඒකක සහ පැර-මිලිටරි ඒකක යොදා ගත්තේය. ඊට අමතරව ඔව්හු ප්‍රා, කහ බළල්ලු, කොළ බළල්ලු සහ රාජාලියෝ වැනි මිනීමරු කණ්ඩායම් ද යොදා ගෙන තිබුනි. එසේ නමුත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කොට රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම ඒ ප්‍රචණ්ඩත්වයට හා සංහාරවලට මඟ පෑදු බව ඉතා පැහැදිලි විය යුතුය.

පක්ෂයක් සිය දේශපාලන ගමන තීරණය කරන්නේ පවතින මර්දනකාරී තත්ත්වයන් තුළ බවද, ඉතිහාසය නිර්මාණය කෙරෙන්නේ “පක්ෂ නායකත්වයේ සිටි එක් එක් පුද්ගලයින්ගේ ඕනෑ එපා කම්වල පදනම මත නොව, විවිධ ‌‌ඵෙතිහාසික දේශපාලන සංදර්භයන් හමුවේ බව” ද ගාමිණී සහෝදරයා පවසයි. ඔහු පවසන අන්දමට, 1983 අගභාගය වන විට “රෝහණ සහෝදරයා අත් අඩංගුවට ගතහොත් ගැටුමක දී මියගිය බව තහවුරු කරන්නට” පැවති කුමන්ත්‍රණ සහ ඔත්තුවක් ලැබුන හොත් “මැරෙන්නට වෙඩි තැබීමෙන් පසුව ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස” පොලීසියට කර තිබුනු නියෝගයක් පිළිබඳව පක්ෂය දැනුවත්ව සිටියේ නම්, ජනතා විමුක්ති පෙරමුණට අනුගමනය කිරීමට තිබුනු එකම දූරදර්ශී ක්‍රියාමාර්ගය වුයේ සමස්තයක් වශයෙන් පක්ෂය යටි බිම් ගත වීම ද යනුවෙන් කෙනෙකුට සාධාරණ ලෙස ප්‍රශ්න කල හැකිය.

ලයනල් බෝපගේ