‘ගින්නෙන් උපන් සීතල’ - කලාවෙන් ඔබ්බට - පළමු කොටස

‘ගින්නෙන් උපන් සීතල’ - කලාවෙන් ඔබ්බට - පළමු කොටස

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක් නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. මේ සංවාදයට කරන දායකත්වය පිළිබඳව ගාමිණී සහෝදරයාට පළමුවෙන් මම ස්තුතිවන්ත වෙමි.

මේ පිළිතුර ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කලා කුසලතාවයන් පිළිබඳව නොවේ. ඒ චිත්‍රපටය තුළ ඇතැම් ඓතිහාසික සිද්ධීන් නිවැරැදි ලෙස නිරූපනය කිරීමට හැකි වීම හෝ නොහැකි වීම කලා නිර්මාණයක් ලෙස එම කෘතිය අගය කිරීමට බාධාවක් නොවිය යුතු බවට ගාමිණී සහෝදරයා ඉදිරිපත් කරන අදහස අප දෙදෙනාට ම පොදු වන හැඟීමකි. කෙසේ වුවත් චිත්‍රපටය පිළිබඳව කරනු ලබන කලාත්මක පමණක්ම වූ විචාරයකින් ඔබ්බට ගමන් කිරීමට අපට සිදුවේ. එසේ වන්නේ රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය සහ කැපවීම අදේශපාලණික ලෙස සාකච්ඡා කළ හැකි මාතෘකාවක් නොවන හෙයිනි; ඔහුගේ නායකත්වයෙන් පණ පෙවුන ව්‍යාපාරය සහ ඔහුගේ චරියාව පිළිබඳව සාකච්ඡා නොකර සිටීම ඔහුටත් ඔහු බලාපොරොත්තු වූ අවසාන අරමුණට පමණක් නොව රටේ ජනතාව හා අනාගතය වෙතත් කරන අසාධාරණයක් වන හෙයිනි.

ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡාවේ පදනම වන්නේත්, පදනම විය යුත්තේත් රෝහණ සහෝදරයා අප්‍රසාදයට ලක් කිරීම, ඔහුට අවලාද නැඟීම හෝ 1971 අප්‍රේල් නැඟිටීම පසුබිම් කොට ගෙන ගොඩ නැඟී තිබෙන නොයෙක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අපහසුතාවයට පත් කිරීම නොවේ. අප්‍රේල් නැඟිටීමෙන් අප නිසි අත්දැකීම් හා පාඩම් උකහා ගෙන තිබුනේ නම් සමාජයට 1988-89 අරගලයේ අභාවවාචක අත්දැකීම් අත් විඳින්නට තිබුණ ඉඩකඩ බොහෝ අඩු විය හැකිව තිබුණු බව මගේ දැඩි විශ්වාසය යි.

1983 මැද කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස මා ගාමිණි මුතුකුමාරණ සහෝදරයා දැන සිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ පක්ෂයේ කටයුතු කළ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වශයෙනි. එයින් පසු අප දෙදෙනා කිසි දිනක හමුවී නැත. ගාමිණි සහෝදරයාට අනුව:

  1. යථාර්තය සිනමා පටයක් තුළ තත්වාකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සියයට සියයක් සිදු කළ නොහැකිවාක් මෙන්ම ඒ සිදුවීම්වලට සාධාරණය ඉටු කිරීමද ඒ හා සමාන ලෙසම දුෂ්කර ය;
  2. රෝහණ සහෝදරයාගේ ජීවමාන චරිතයට අදාළ වන සමාජ දේශපාලනික වපසරියන් තත්වාකාරයෙන් කලා නිර්මාණයකට ගොනු කිරීම දැඩි පරිස්සමෙන් කළ යුතු දුෂ්කර කටයුත්තක් වෙයි; සහ
  3. චිත්‍රපටයේ නිරූපණය කෙරෙන විවිධ චරිත පිළිබඳව විමසා බැලීම හා අධ්‍යයනය කිරීම මේ සඳහා අවශ්‍ය වෙයි.

චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනු ලබන “ඓතිහාසික දේශපාලන තත්වයන්ට සාධාරණය ඉටු නොවීම” පිළිබඳව සරල කරුණු කිහිපයකට මගේ මුල් ලිපිය සීමා කොට තිබුනේ සැබවින්ම ඒ සංකීර්ණතාවයන් හේතුවෙනි.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී එහි තාක්ෂණික ගැට‍ළු විසඳා ගැනීමට ඉදිරිපත් වීමට පෙර ජය ගත යුතු බාධාවන් ගණනාවක් තිබේ. තිර රචනයේ දී මූර්ත යථාර්තය නිරූපනය කල හැක්කේ එහි නිර්මාණය උදෙසා තොරතුරු ලබා දෙන ආයතන හෝ පුද්ගලයන් සපයා දෙන මූලාශ්‍රවලට ආවේණික වන සීමාවන්ට අනුකූලව පමණකි. චිත්‍රපටයේ නිර්මාණයට අවශ්‍ය නන් වැදෑරුම් චරිතවල සුල මුල හා ස්වභාවය ගැන කරන අධ්‍යයනයන් බොහෝ දුරට පාදක වන්නේ ඒ මූලාශ්‍ර මත පමණකි. ඉන් පසුව, චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා මුදල් සම්පාදනය කර ගත යුතු වෙයි. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙහි ලා මූල්‍ය සම්පාදනය කරන ආයතනයේ හෝ පුද්ගලයාගේ මතවාදීමය, දේශපාලනමය සහ සංස්කෘතිකමය ලැදියාවන් සහ ඕනෑ එපා කම් වලට අනුව බොහෝ විට යම් යම් සීමාවන්ට මුහුණ දෙන්නට හෝ ස්වයංමය වාරන පනවා ගන්නට සිදු වෙනු ඇත.

ගාමිණි සහෝදරයා තවදුරටත් මෙසේ පවසයි: “චිත්‍රපටයට පරිබාහිර ව ව්‍යාපාරයේ දේශපාලන අරමුණු මත යම් ව්‍යාජයක් හෝ වැරදි පුවත් නිර්මාණය කරමින් ඒ කාල වකවානුවේ දේශපාලන තත්වයන්ට හා චරිතයන්ට හානියක් පමුණු වන්නේ නම් එවකට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිස්” ඊට එරෙහි විය යුතුය. චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන මා “විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් අතුරු කතාවක් මෙන්ම බරපතළ මත භේදයන්ට තුඩු දෙන විවේචනාත්මක මතයක්” ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියි.

ඔහු අදහස් කරන ඒ මතය නම්:

  1. රෝහණ සහෝදරයා යටි බිම් දේශපාලනයට යාම ඔහුගේ ම තීරණයක් මත සිදු කරන ලද්දක් බවත්;
  2. ඔහු යටි බිම් ගත වෙන්නට පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව ඊට පෙර, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවත්;
  3. 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ජවිපෙ විවෘත දේශපාලනය තුල ප්‍රතිචාර දක්වමින් රජය නඟා තිබූ දේශපාලන හා සාපරාධී චෝදනා ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණු බවත් යන්නය.

මගේ අදහස වූයේ මෙම චිත්‍රපටය කලා කෘතියක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දිශානතිය හා වැඩ පිළිවෙල 1983 සිට වෙනස් වූ ආකාරය තත්වාකාරයෙන් එලි දැක්වූයේ නම් එයින් ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ලබා දෙන අතර සාධනීය දායකත්වයක් ද කළ හැකිව තිබුන බව යි. පක්ෂය ඒ කාලය තුල අති දක්ෂිණාංශික ස්ථාවරයක් දක්වා දෝලනය වීමට බලපෑ හේතු සාධක කිසිදාක නිසි ලෙස විග්‍රහ කොට නැත. මගේ විවේචනය චිත්‍රපටයේ කලාත්මක කුසලතාවයන් ගැන නොව, සිදු වූ දේ පිළිබඳව සෘජු ලෙස කරුණු ඉදිරිපත් කරන්නට පවතින දේශපාලන ප්‍රපංචයන් සතු වගකීම පිළිබඳව කරන ලද්දකි.

ගාමිණි සහෝදරයාට අනුව: “මෙකී කාරණා ගෙන හැර දැක්වීම මගින්” මා “දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතිහාසයට බරපතළ අසාධාරණයක්” කර තිබේ. විජේවීර සහෝදරයා ඔහුගේ ම තීරණයක් මත පසු බැස්සේය යි පැවසීම සපුරා ම වැරදි සහගත බව ඔහු කියයි. “පසුබැසීමට ගත් තීරණය විජේවීර සහෝදරයා තනිව ඔහුගේ හිතුමනාපය පරිදි ගත් තීරණයක් නොව, පක්ෂයේ පාලක ලේකම් සුමිත් සහෝදරයා විසින් හදිසි තත්වය යටතේ ගෙන තිබූ තීරණයක්” බවත් “රෝහණ සහෝදරයා ඇතුළු ප්‍රචාරක තලයේ සිටි අනෙකුත් සහෝදරවරුන් ද ආරක්ෂක හේතු මත කොළඹින් පිටතට යැවීමට සුමිත් සහෝදරයා කටයුතු කොට” තිබුන බවත් ගාමිණි සහෝදරයා වැඩි දුරටත් කියයි.

මෙම ස්ථාවරය සනාථ කරන්නට රෝහණ සහෝදරයා කොළඹ සිට තංගල්ලට පළමුවෙන් පැමිණ ඒ රාත්‍රියේ ම තිස්සමහාරාමයටත් පසු දින උදෑසන කතරගමටත් ආ බව ඔහු දක්වා සිටියි. එදින දවල් කාලය කතරගම හේනක ගත කළ රෝහණ සහෝදරයා රෑ බෝ වෙද්දී ආරක්ෂාව පතා සහෝදරවරුන් පිරිසක් සමග කැලයට පිටත්ව ගියේය. සෝමරත්න කලුආරච්චි සහෝදරයා සහ මා අත් අඩංගුවට ගෙන ඇති බව ඔවුන්ට කැලයට ඇතුල් වන්නට පෙර දැන ගන්නට ලැබුනේය.

මා සතු තොරතුරුවලට අනුව, රෝහණ සහෝදරයා ඇතුළු කණ්ඩායම පළමුව තංගල්ලට පැමිණ එදා රෑම තිස්සමහාරාමේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට ගොස් ඇත. දින කිහිපයක් ම ඔහුගේ නිවසේ කල් ගත කිරීමෙන් පසු ඔවුහු හම්බෙගමුව කැලයට පසු බැස ඇත. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා දක්වා ඇති පරිදි කොහිලවත්තේ ශක්ති මුද්‍රණාලයේ නන්දතිලක ගලප්පත්ති සහෝදරයාගේ ඉල්ලීම අනුව ඔහු විල්ලෝරාවත්තේ ශ්‍රීමතී සහෝදරියගේ නිවසට කැබ් රථයකින් ගොස් ජාතිවාදී කෝලාහලය පටන් ගත් දවසේ ම රෝහණ සහෝදරයාත් ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් තවත් කිහිප දෙනෙකුත් තංගල්ලට ගෙන ගොස් ඇත. ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් විජිත රණවීර සහෝදරයාගේ නිවසට හැර ලූ සේපාල සහෝදරයා සෙසු කණ්ඩායම ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට රැගෙන ගියේය. ගාමිණී සහෝදරයා වැල්ලවායේ සිට පැමිණ මේ කණ්ඩායමට එකතු වී ඇත්තේ කණ්ඩායම කැලයට පසු බැස්සාට පසුවයි.

යටි බිම් ගත වීමේ තීරණය රෝහණ සහෝදරයා තමන් විසින්ම ගන්නා ලද තීරණයක් නොවන බව තහවුරු කරන්නට ගාමිණි සහෝදරයා තවත් තර්කයක් ඉදිරිපත් කරයි. ඒ තර්කය නම් කැලයේ ගත කල පළමු සතියේම රෝහණ සහෝදරයාගෙන් පණිවිඩයක් බලාපොරොත්තුවෙන් සුමිත් සහෝදරයා තිස්සමහාරාමයේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට පැමිණෙනු ඇතැයි රෝහණ සහෝදරයා දැන සිටි බව යි. රෝහණ සහෝදරයා සුමිත් සහෝදරයාට ලියූ ලිපියක් ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට ගාමිණි සහෝදරයා ගෙන ගිය බවද ඔහු සඳහන් කරයි. මේ තත්වය අනුව මට සිතා ගත හැක්කේ ගාමිණී සහෝදරයා ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසේ ඒ ලිපිය තබා ආපසු කැලයට යන්නට ඇති බවයි. එහෙත් මා සතු තොරතුරුවලට අනුව ඒ කාල පරිච්ඡේදය තුල සුමිත් සහෝදරයා තිස්සමහාරාමේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට හෝ රෝහණ සහෝදරයා හමු වන්නට හෝ ගොස් නැත.

කෙසේ වෙතත්, රෝහණ සහෝදරයා ඔහුගේ තීරණය පිළිබඳව සුමිත් සහ උපතිස්ස ගමනායක යන සහෝදරවරුන් සමඟ කතාබහ කරන්නට ඇතැයි යන්න මම කිසිසේත් ප්‍රතික්ෂේප නොකරමි. පක්ෂය තහනම් කිරීමෙන් දින දෙකකට පමණ පසු ආමර් වීදියේ කාර්යාලයට පැමිණි සෝමවංශ අමරසිංහ සහෝදරයා රෝහණ සහෝදරයා ඇතුළු පක්ෂයේ අනෙක් නායකයෝ යටි බිම් ගත වූ බව මට කියා සිටියේය. මගේ ආරක්ෂාව පතා ඔවුන් හා එක් වන්නට ඔහු සමඟ පැමිණෙන ලෙස ඔහු ඉල්ලීය. පක්ෂය සහ මා ජාතිවාදී කෝලාහල වලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නැතැයි යන ඉතා සරල හේතුව නිසාවෙන් මා සැඟවීමට යන්නට අදහස් නොකල බව අමරසිංහ සහෝදරයාට දැන්වූයෙමි. පක්ෂයක් වශයෙන් අප යටි බිම් ගත වූවොත් ආණ්ඩුවේ බොරු ප්‍රචාරක ව්‍යාපාරය රටේ ජනතාව අතර මුල් බැස ගන්නා හෙයින්, රජය ප්‍රචාරය කර ඇති බොරුත් සැබෑ තත්වයත් හෙළිදරව් කිරීම අපට අතිශයින් වැදගත් විය.

මධ්‍ය කමිටුව පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල පිළිබඳව තීරණය කොට ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපාය මාර්ගික තීන්දු ගනියි. දේශපාලන මණ්ඩලය හැම විටම මධ්‍ය කමිටුවේ තීරණ ක්‍රියාත්මක කරන අන්දම පිළිබඳව උපායික තීරණ ගනියි. එක දිනක දැන්වීමකින් දේශපාලණ මණ්ඩලය රැස් කළ අවස්ථා විරල නොවීය. ජූලි 25 වන දා ද එසේ කරන්නට පක්ෂයට බාධාවක් නොවීය. තවද, පක්ෂයට පාලක ලේකම්වරයෙක් සිටියේ නැත; සිටියේ සංවිධායක ලේකම්වරයෙකි. ඒ සුමිත් අතුකෝරල සහෝදරයා යි. ඔහුගේ වගකීම වූයේ මධ්‍ය කමිටුව සහ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ ක්‍රියාවේ යොදනු ලබන බවට කටයුතු කිරීම, වග බලා ගැනීම සහ සහතික කිරීමයි.

සාමාන්‍ය පක්ෂ ක්‍රියා පටිපාටියට පිටින් ඒක-පාර්ශ්වික දේශපාලන තීන්දු ගැනීම රෝහණ සහෝදරයාට අසාමාන්‍ය ක්‍රියාවක් නොවීය. එවැනි එක් උදාහරණයක් වූයේ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා සමඟ මෛත්‍රීපාල සේනානායක මහතාගේ නිවසේ කල සාකච්ඡාවක දී ශ්‍රීලනිප රැස්වීම් කඩාකප්පල් කරන්නට ගන්නා ලද තීරණය යි. එය පක්ෂයේ දේශපාලණ මණ්ඩලයේ දී සාකච්ඡා කෙරුණේ නැත. අවාසනාවන්ත ලෙස, ඒ තීරණය පක්ෂය වෙත රජයේ අනවශ්‍ය අවධානය යොමු කලේය.

“ජුලි මාසයේ මධ්‍යම කාරක සභාවේ දී ජාතික ප්‍රශ්නය සම්බන්ධ විවාදයෙන් අනතුරුව පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබීමේ පසුබිම තුළ” යටි බිම් ගත වීමට මට මානසික වශයෙන් දුෂ්කර වන්නට ඇතැයි ගාමිණී සහෝදරයා අනුමාන කරයි. ඇත්ත වශයෙන්ම, පක්ෂය තහනම් කිරීමෙන් පසුව ආමර් වීදියේ පක්ෂ කාර්යාලයේ රැඳී සිටීමේ දී පවා මට කිසිදු මානසික දුෂ්කරතාවයක් නොවීය. මා විවෘත තලයේ සිටින්නට තීරණය කොට තිබුනා පමණත් නොව ඒ තීරණය පක්ෂයට ද දැනුම් දුන්නෙමි.

ලයනල් බෝපගේ